Friday, October 25, 2024
Follow Us
පාසල් හැර යන දරුවන් සම්බන්ධයෙන් වාර්තාවත් සැකසීමට අගමැතිගෙන් උපදෙස්

පාසල් හැරයන දරුවන් පිළිබඳව නිසි දත්ත වාර්තාවක් කඩිනමින් සකස් කිරීම අත්‍යාවශ්‍ය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදීය.

පාසැල් හැරයන දරුවන් පිළිබඳව පැහැදිලි තොරතුරු නොමැතිව එම දරුවන්ගේ අනාගතය පිළිබඳව නිසි වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි ගැටලුවක් ඇතිවන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන්ව විවිධ හේතූන් මත පාසැල් හැරයන දරුවන්ට ඉදිරි අධ්‍යාපනයක් නොමැති වුවහොත් ඔවුන්ගේ පෞද්ගලික දියුණුව මගහැරී යෑම මෙන්ම සාමාජීය ගැටලු නිර්මාණය විමටද හේතු විය හැක. සාමාන්‍ය පෙළ දක්වා හෝ උසස්පෙළ දක්වා පාසලේ ලියාපදිංචි වී සිටි දරුවන් පාසල හැරයාමේදි ඒ පිළිබඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වාර්තාගත වීම අත්‍යවශ්‍ය කරුණක් බව ද මෙම දරුවන් විභාගය නොකර හැරෙන මාර්ගය කුමක්ද, එසේ සිදුකරන්නේ කුමන හේතුවක් මතද යන්න සොයා බැලීම අනිවාර්ය බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට අධ්‍යාපනය නැංවීමටත් තරුණ පරපුර තාක්ෂණයෙන් පිරිපුන් කිරීමටත් විදේශ ආධාර ඇතුළු සියලු දේ ලැබෙන නමුත් අවශ්‍ය දත්ත පද්ධතිය සම්පූර්ණ කිරීමට නොහැකි වීමෙන් එම වැඩසටහන් ක්‍රියාත්මක කළ නොහැකි තත්වයක් උද්ගතවිය හැකිය. මේ හේතුවෙන් පැසල් හැරයන දරුවන් පිළිබඳ දත්ත වාර්තා කිරීම කඩිනමින් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් මෙහිදී රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.