Friday, October 25, 2024
Follow Us
ඩෙංගුවලින් බේරෙන්නේ මෙහෙමයි

ඩෙංගු රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් දැකිය හැකි බැවින් ඉන් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමයේ වෛද්‍ය සේනක ගමගේ මෙසේ අදහස් දැක්වීය.

හෙතෙම පෙන්වා දුන්නේ ඩෙංගු මදුරුවා වැඩි වශයෙන් අඳුරු ස්ථානවල ගැවසෙන බවත් එවැනි ස්ථාන සූර්යාලෝකය හොඳින් ලැ⁣බෙන පරිසරයක් බවට පත් කළ යුතු බවත්ය.

නිවෙස් සහ සේවා ආයතන පරිශ්‍රවලට පැඟිරි තෙල් සහ කුරුඳු තෙල් බිංදු පහ බැගින් ගෙන එය වතුර මිලි ලීටර් පන්සීයකට මිශ්‍ර කර ඉසීමෙන් මදුරුවන් ඒම සීමා කරගත හැකි බවද හෙතෙම පැවැසීය.

තවද ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමෙන් ඩෙංගු වැලඳීමේ අවදානම අඩු කර ගත හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය. ඒ අනුව සමබල අහාර වේලක් ගැනීම, නෙල්ලි , වෙරළු, පේර , වැනි දෑ ආහාරයට ගැනීම සහ ඉඟුරු , කොත්තමල්ලි , පත්පාඩගම් වැනි දෑ නිතර භාවිතයට ගැනීම මගින් ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට හැකි බව හෙතෙම පෙන්වා දුනි.
දින දෙකකට වඩා උණ පවතීනම් සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සිදු කළ යුතු බවත් රෝගයේ මූලික අදියරේදීම අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගැනීම මරණ ඉහළ යාමට හේතුව බවත් හෙතෙම වැඩි දුරටත් පැවැසීය.

තවද ඩෙංගු වයිරසයේ ප්‍රභේද 4ක් පවතින බවත් මේ හේතුවෙන් එක් පුද්ගලයකු එක් වරකට වඩා මෙම රෝගයට ගොදුරු විය හැකි බවත්, මෙම රෝගය සඳහා කිසිදු එන්නතක් හෝ බෙහෙතක් නොමැති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති සෛල ජෛව විද්‍යා මහාචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළේය.

 

-Aruna