Friday, October 25, 2024
Follow Us
ඩෙංගු පාලනයට විශේෂ කණ්ඩායමක්

ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදුවන ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් හෙට (08) දිනයේ එම දිස්ත්‍රික්කයට පිටත් කර හැරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවය.

එම තත්ත්වය පාලනය කිරීම සඳහා ගතයුතු ක්ෂණික ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යෙදවීමට තීරණය කර තිබේ.

මීට අමතරව රට තුළ පවතින ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් ද පත්කර ඇති බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විටත් කාර්ය සාධක බළකායක් පිහිටුවා ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක සඳහන් කළේය.

බස්නාහිර පළාතේ පාසල් පරිශ්‍ර තුළ ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට විදුහල්පතිවරුන් වෙත හෙට දිනයේ චක්‍රලේඛයක් නිකුත් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නොනිස් සඳහන් කළේය.

මේ අතර දිස්ත්‍රික් 15ක් ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි ජාතික සංවිධායක දිස්නක දිසානායක සඳහන් කළේ, පවතින තත්ත්වය පිළිබඳව කඩිනම් අවදානය යොමු නොකළ හොත් ඩෙංගු රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යා හැකි බවය

-Aruna