Friday, October 25, 2024
Follow Us
බුදු දහමින් පෙන්වා දුන් නිසි කළමනාකරණය අදත්

බුදු දහමින් පෙන්වා දුන් නිසි කළමනාකරණය ද අද අප මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීමට දායක විය හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහි වැඩිදුරත් සඳහන් වන්නේ,

"සමස්ත බෞද්ධ ජනයාගේ පරම පූජනීය දිනය වෙසක් පුර පසළොස්වක පොහොයයි. ඉතිහාසය පුරාවට ජාතික හා ආගමික සහජීවනය වැඩිදියුණු වීමට බුදු දහමෙන් අප ලැබූ හික්මීම මහඟු කොට බලපෑ අතර ලොව හමුවේ අභිමානයෙන් නැගී සිටීමට ද අපට එය ඉවහල් විය.
ලෝක ස්වභාවය මැනවින් අවබෝධ කිරීමට උදව්වන බුදු දහමේ මඟ අද ලොවටම අනුගමනය කිරීමේ වුවමනාව පවතී.
බුදු දහමේ හරය සොයායන රටවල් ඒ වෙනුවෙන් බෞද්ධ රටවලට ගමන් කර ඇති අතර තවද ගමන් කරමින් සිටී.
ලොව ජීවන රටාවේ අප සිතූ මාර්ග කඩා වැටෙමින් ඇත. ඔවුන් බුදු දහමේ හරය සොයා යයි.
බුදු දහමින් පෙන්වා දුන් නිසි කළමනාකරණය ද අද අප මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීමට අප අපටම දායක විය හැකිය.
"ඒකේන භොගේ භුඤ්ජ්‍යෙය - ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථං ච නිධාප්‍යෙය - ආපදා සුභවිස්සති”
තමා දැහැමින් උපයා සපයා ගත් ධනය සිවු කොටසකට බෙදා එක් කොටසක් දෛනික ජීවිතයේ පරිභෝජනයට, කොටස් දෙකක් අනාගත දියුණුව හෙවත් කර්මාන්ත ආදිය සඳහාත්, සිව්වැනි කොටස විපතක් පැමිණි විට ප්‍රයෝජනයට ගැනීමට තැන්පත් කළ යුතු බව බුදු වදනයි.
සමාජ සම්මත සාරධර්ම පරයා මනුෂ්‍යත්වය තරම් නොවන සමහර සිදුවිම් වාර්තා වන වර්තමානයේ ද යළි යළිත් උතුම් බුද්ධ දර්ශනයේ මඟ පසක් කරමින් සැබෑ නිරාමිස සතුට ළඟා කෙරෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සිව්බඹ විහරණ පෙරදැරි කරගත් සමාජයක් තුළ අපි කටයුතු කරමු."