Friday, October 25, 2024
Follow Us
කම්කරු නීති පද්ධතිය සකස් කිරීමට මහජන අදහස් විමසීම ඇරඹේ

දැනට පවතින කම්කරු නීතියේ පවතින ගැටලු ප්‍රශ්න හඳුනාගෙන, ඩිජිටල් වැඩ ලෝකයට ගැළපෙන ආකාරයේ කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සඳහා සියලුම පාර්ශවල අදහස් ලබාගැනීම සඳහා පුළුල් වේදිකාවක් සකස් කර ඇති බවත්, ඕනෑම අයෙක්ට මෙම වේදිකාවට පැමිණ අදහස් දැක්විය හැකි බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේය.

නව කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා වන මහජන අදහස් විමසීමේ වැඩපිළිවෙළ අද  (03) ආරම්භ කළ අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.
“නූතන ලෝකයට ගැලපෙන ආකාරයට කම්කරු නීතිය වෙනස් කිරීමට, 2048 දී මේ රට දියුණු රටක් බවට පත් කිරීමට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ගැනීමේදී කම්කරු ක්ෂේත්‍රෙය්ත් වෙනස් කම් කළ යුතු වෙනවා.

අපිට මොන චෝදනා ආවත් ඉන්ෆල්ක්ස් වැඩසටහන යටතේ නීතිය අලුත් කිරීමට අදහස් යෝජනා පුළුල්ව ලබාගැනීම තමයි අපි ආරම්භ කළේ. සාමාන්‍යෙයන් මේ වගේ දෙයක් පටන්ගන්නා විට, වෘත්තීය සමිතිවලින් විතරක් අහලා කළාම හරි කියලා හිතනවා. ලංකාවේ වෘත්තීය සමිති නියෝජනය කරන වගේම වෘත්තීය සමිති නියෝජනය නොකරන පිරිස අතරේ ලොකු වෙනසක් තිබෙනවා. මේ රටේ ඕනෑම වෘත්තියක් කරන, වෘත්තීය සමිතියකට සම්බන්ධ, සම්බන්ධ නොවන, කාන්තාවන්ට, විවිධ පාර්ශවවලට, අයිතීන් ගැන කතා කිරීමට ඉදිරිපත් නොවන අයට පවා තමන්ගේ අයිතීන් ගැන වේදිකාවක් තමයි අපි හදන්නේ. ඉන්ෆ්ල්ක්ස් වේදිකාවට ඕනෑම අයෙටක්ට ඇවිත් අදහස් දක්වන්න පුලුවන්. කම්කරු අමාත්‍යාංශයට ඊමෙල්, දුරකතන ඇමතුමක් දෙන්න. ඒ යෝජනා සැලකිල්ලට අරගෙන කම්කරු නීති වෙනස් කිරීම සදහා වන කෙටුම්පතක් හදලා, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා, නීති කෙටුම්පත් අංශයට, පාර්ලිමේන්තුවට, අධිකරණයට ගිහින් රටේ සියලු ජනතාවගේ එකගතාවයෙන් නූතන ලෝකයට ගැලපෙන කම්කරු නීතියක් සකස් කිරීම සදහා මේ වැඩපිළිවෙළ ආරම්භ කරනවා.
මේ වේදිකාවට ඇවිත් කම්කරු ක්ෂේත්‍රය ගැන අදහස් දක්වන්න කියලා අපි ඉල්ලනවා. සියලු දෙනාගේම අදහස් ලබාගැනීමට අපි සූදානම්. වෘත්තීය සමිතිවලට සම්බන්ධ නොවන අයට, විද්වතුන්ට මේ වේදිකාව විවෘතයි.”