Friday, October 25, 2024
Follow Us
බෞද්ධාලෝක වෙසක් වැඩසටහන දින 4ක් පුරා

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් 22 වන වරට ක්‍රියාත්මක කරන බෞද්ධාලෝක වෙසක් වැඩසටහන මෙවරත් වෙසක් පොහෝ දින සිට පුරා දින 04ක් , එනම් මැයි 05 සිට 08 දක්වා පැවැත්වෙන බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී බෞද්ධාලෝක වෙසක් උත්සවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට වසර 103ක් ගතවූ තැන මෙම 22 වන වරට පවත්වනු ලබයි.

සෑම පුර පසලොස්වක පොහෝ දිනකම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය දාන, ශීල, භාවනා වැඩසටහන් පවත්වන බව සිහිපත් කළ සභාපතිවරයා මෙම වෙසක් උත්සවය දවසේදී සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී උදෑසන 05.30 සිට සවස් වන තුරු අෂ්ඨාග ශීල සමාදානයත් , භාවනා වැඩසටහන්, ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක වන බවද පැවසුවේය.

සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය එදා සිට මේ දක්වා ක්‍රියාත්මක වූ සර්වඥ ධාතු වන්දනාව එදින සවස 06.30ට අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් ඇරඹෙන බවද, එම දින 04 පුරාම පැය 24ම පවත්වාගෙන යන දන්සල එදින ඇරඹෙන බවද දිනකට 5000කට පමණ පිරිසකට ලබාදීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

පාසල් දරුවන් සහ විශේෂ පුද්ගලයන් සහභාගී කරගනිමින් සිදුකරන භක්ති ගීත වැඩසටහන සහ ත්‍රිවිධ හමුදාව ඇතුළුකණ්ඩායම් වලින් ක්‍රියාත්මක වන බොදු බැති ගී සරණිය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට විශේෂ පීඨිකාවේදී පවත්වන බවද පැවසුවේය.

දරුවන් වෙනුවෙන් චිත්‍ර තරඟයත් පවත්වා එයින් තේරී පත්වන දූ දරුවන්ගේ චිත්‍ර ඩිජිටල් රූපරාමු තුළ ප්‍රදර්ශනය කරමින් චිත්‍ර ප්‍රදර්ශනයක්ද සංවිධානය කර ඇතැයි පැවසූ සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිවරයා සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය එදා සිට මෙදා දක්වා සිදුකළ කනත්ත වටරවුමේ සිට තුම්මුල්ල දක්වා වූ ආලෝකකරණය පහන් කූඩු අටපට්ටම් කූඩු ආදිය යොදා ගනිමින් කරනු ලබන සැරසිලි මෙවර ජනපතිගේ අභිලාෂය අනූව ගාලුමුවදොර දක්වාම සිදුකිරීමට අපේක්ෂිතබවද පැවසුවේය.

ඒ අනූව සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය බෞද්ධාලෝක වෙසක් සැරසිලි අග්‍රාමාත්‍යතුමාගේනිල නිවස අසල හන්දිය දක්වාම සිදුකරන බවද කියා සිටියේය. ඒ සදහා පූර්ණ දායකත්වය ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ලබාදෙන බවද සදහන් කළේය.

විශේෂයෙන්ම මෙම කර්තව්‍යයේදී කූඩු නිර්මාණය කරනුයේ නිර්මාණකරුවන්ගේ කුසලතා වැඩිදියුණු කිරීමට සහ අපගේ සංස්කෘතික ලක්ෂණ තව දුරටත් ඉදිරි අනාගතයට පවත්වාගෙන යාම සදහා බවද කියා සිටි සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා විශේෂ ඩිජිටල් තොරණක් මාර්ගයේ එක් පසෙක ප්‍රදර්ශනය කරන බවද පැවසුවේය.

විශේෂ ධර්මදේශකයාණන්වහන්සේලා විසින් සිදුකරන විශේෂ ධර්මදේශනා වැඩසටහනක් 6,7, 8 යන දින වල ක්‍රියාත්මක වන බවද සදහන් කළේය.

සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ අදහසකට අනූව මෙවර විශේෂයෙන් ජනාධිපති කාර්යාලයට ආසන්නව ඇති නිදහස් භූමියේ ශිෂ්‍යයින් සහ මෙරට පොදු ජනතාව නියෝජනය කරමින් 3000කට අධික පිරිසක් සහභාගී කරගනිමින් සාධු නාද නමින් බේධ්ධාලෝක ශීල වැඩසටහනක් සංවිධානය කර ඇති බවද සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය සභාපති වෙසක් කමිටුවේ සභාපති රොෂාන් මද්දුමගේ මහතා අවධාරණය කළේය..