Saturday, October 26, 2024
Follow Us
උසස් පෙළ ප්‍රශ්නපත්‍ර සිද්ධියට කොල එළියක්

විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් අතර පැනනැගී ඇති උසස් පෙළ ප්‍රශ්නපත්‍ර ඇඟයිමේ ගැටලුකාරී තත්ත්වය තවත් දිනකින් හෝ දෙකක් ඇතුළත විසඳෙනු ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

ඒ මහතා ඒ බව පවසා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආරම්භ කරන ලද වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයට පළමු ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීමේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි.

එහිදී ඒ මහතා පවසා සිටියේ එම ප්‍රශ්නය දී පෙරදාට වඩා ඊයේ හොඳ බවත් ඊයේට වඩා අද හොඳ බවත්ය.

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සමඟ තමන් සාකච්ඡා කළ බව පැවසූ මහාචාර්යවරයා එහිදී සාධනීය ප්‍රතිඵල ලැබී ඇති බවද පැවසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර ගැටුම්කාරී තත්වයක් නොමැති බව පැවසූ ඒ මහතා තවත් දින දෙකක් තුනක් ඇතුලත මෙම ප්‍රශ්නය විසඳෙනු ඇති බවත් සුවෙච්චාවෙන් ඉදිරිපත් වන කණ්ඩායම් ඒ සඳහා ඉදිරිපත් වන බවට මේ වන විට ඉඟි පළවී ඇති බවද පැවසීය.

මෙම උත්තර පත්‍ර ඇගයීම් කටයුතු මහාචාර්යවරුන් විසින් ස්වේච්ඡාවෙන් කරන කටයුත්තක් බවත් එහි විශාල ගුණාත්මක භාවයක් රැකගත යුතුව තිබෙන බවද පැවසිය.

Lankadeepa