Saturday, October 26, 2024
Follow Us
සීතා අම්මාන් කෝවිලේ භාවනා මධ්‍යස්ථානයක්
ඉන්දු ලංකා බැතිමතුන් සඳහා වූ භාවනා මධ්‍යස්ථානය ඉදිකිරීම් නුවරඑළියේ සීතා අම්මාන් කෝවිලේ දී ආරම්භ කෙරේ. 
 
සීතා අම්මාන්  කෝවිල් භාරකාර මණ්ඩලයේ සභාපති වී. රාධක්‍රිෂ්ණන්  මහතාගේ ආරාධනයට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා පසුගිය දා නුවරඑළියේ, සීතාඑළිය, සීතා අම්මාන් කෝවිලට ගියේ විශාල ඉන්දීය දුත පිරිසක් සමඟය.
 
වාල්මිකීගේ රාමායණය ඉන්දු ලංකා අනාදිමත් පුරාවෘත්තයන් සටහන් කරයි. දෙරට පුරා විසිරී ගිය එහි ජනප්‍රවාදයන් අතර නුවරඑළිය සීතා අම්මාන් කෝවිල ප්‍රධානතම ස්ථානය ගනී.
 
දෙමළ හින්දු ජනතාවගේ වන්දනාමානයට පාත්‍රවන මෙම ස්ථානය සිංහල ජනතාව ද පැදකුණු කරයි. මෙය ජාතික හා ආගමික සමගිය සදහා වූ තෝතැන්නකි.
 
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙරට බුදුදහම හා හින්දු ආගම සමාජයට ධනාත්මක හා සදාචාරාත්මක වටිනාකම් එක්කොට තිබෙන බවයි. මෙය ඉන්දු ලංකා, සිංහල දෙමළ සහයෝගිතාවේ සංකේතයක් වනු ඇති බවද අගමැතිවරයා කියා සිටියේය.
 
"මේ සඳහා සහාය ලබා දීම පිළිබඳව ඉන්දියානු  දානපතියන්ට ස්තුතිවන්ත වෙනවා. මෙය හුදු මූල්‍ය ආධාරයක් පමණක් නොවේ. භාවනාව තුළින් මනස වර්ධනය කිරීම මානසික, ශාරීරික ප්‍රගතියට මෙන්ම මානව ගුණධර්ම සවිමත් කිරීමට ද ඉවහල් වෙනවා. ඉන්දු ලංකා මිතුදම සුවිශේෂයි. වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමටද ඉන්දීයාව අපට විශාල ශක්තියක් වුණා." යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 
 
මෙහිදී අදහස් දැක් වූ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ  මහතා...
 
"රාම් චරිත් මානස්, රාමායණය, භගවත් ගීතාව තුළින් ශිෂ්ටාචාරයේ ප්‍රගමනයට කෙරුණු සේවාව ඉදිරියට ගෙනයාමටත් ශිෂ්ටාචාරයේ සවිමත් රැහැන් තුළින් බැදුණු ඉන්දු - ලංකා මිතුදම තවත් ශක්තිමත් සහ අධ්‍යාත්මික වශයෙන් ගුණාත්මක කිරීමටත් මෙම සීතා අම්මාන් කෝවිල නව භාවනා මධ්‍යස්ථානය ප්‍රයෝජනවත් වනවා. "