Saturday, October 26, 2024
Follow Us
දැඩි හිරු රශ්මියෙන් ආරක්ෂාවිමට කටයුතු කරන්න

මේ දිනවල පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් හැකි සෑම අවස්ථාවකම හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පාසල් දරුවන් ඇතුළුව සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් වැඩි වශයෙන් ජලය පානය කළයුතු බව පෙන්වා දෙන ඒ මහතා ඉදිරි දින කිහිපයේත් මේ තත්ත්වය පැවැතිය හැකි නමුත් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ද සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (24) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස පාසල් දරුවන් ඇතුළුව සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් පාසල් තුළ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ පසුගිය මාර්තු 10 වනදා පාසල් වෙත දැනුම් දීමට පියවර ගෙන තිබෙන බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් නිරන්තරයෙන් මහජනතාව දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබෙන බව සඳහන් කළ ඒ මහතා නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රිය වනතුරු මේ තත්ත්වය එලෙසින්ම පවතිනු ඇති බව ද එම කාලය තුළ සැලකිලිමත්ව කටයුතු කිරීම අත්‍යශ්‍ය බව ද පෙන්වා දුන්නේය.

විජලනය වළක්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දුන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ සඳහා පැය බාගයකට වරක් අවම මට්ටමින් ජලය මිලිලීටර් 200ක් පානය කළයුතු බව ද ඊට අමතරව උදේ 9.00ත් සවස 4.00ත් අතර කාලය තුළ හැකි පමණින් හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකී සිටිය යුතු බව ද ප්‍රකාශ කළේය.