Saturday, October 26, 2024
Follow Us
නාවික හමුදාවේ විශේෂ ‘Canoeing and Kayaking’ පුහුණු වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාලයන්ට අනුයුක්තව ආරක්ෂක උපදේශකයින් ලෙස කටයුතු කරනු ලබන නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් විශේෂ ‘Canoeing and Kayaking’ පුහුණු වැඩසටහනක් ඊයේ (16) බත්තරමුල්ල, දියවන්නා ඔයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සාර්ථකව පැවැත්විණි.

ඒ අනුව, ‘Canoeing and Kayaking’ ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සංකල්පයක් මත ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විශේෂ ‘Canoeing and Kayaking’ පුහුණු වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා ශ්‍රී ලංකාවේ චීන, ප්‍රංශ, ඇමරිකා එක්සත් ජනපද සහ රුසියානු තානාපති කාර්යාලයන්ට අනුයුක්තව මෙරට ආරක්ෂක උපදේශකයින් ලෙස කටයතු කරනු ලබන නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී වන ලදි.

මෙම වැඩසටහනට සමගාමීව දියවන්නා ඔයේදී ප්‍රදර්ශනාත්මක ඩ්‍රැගන් බෝට්ටු සංදර්ශනයක්ද පවත්වන ලද අතර, මෙම විශේෂ පුහුණු වැඩසටහන සඳහා විනෝදාත්මක ‘Kayaking’ උපකරණ සහ ජීවිතාරක්ෂක උපකරණ දායකත්වය ‘Off Grid’ ආයතනය විසින් සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලමාහේවා මැතිණිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටි අතර, මෙම පුහුණු වැඩසටහන අවසානයේදී නාවික හමුදාධිපති විසින් සමරු තිළිණ ප්‍රදානයක්ද සිදු කෙරිණි.