Saturday, October 26, 2024
Follow Us
ශ්‍රී ලාංකික පිය-පුතු ඔස්ට්‍රේලියාවේදී දියේ ගිලී මරුට

දියේ ගිලීමෙන් ශ්‍රී ලාංකික පියකු සහ ඔහුගේ පුත්‍රයා අවාසනාවන්ත ලෙස ඔස්ට්‍රේලියාවේදී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා‌ වෙයි. බටහිර කෙයාර්න්ස්හි ක්‍රිස්ටල් දිය ඇල්ල ආසන්නයේ පිහිනුම්වල යෙදී සිටියදී දියේ ගිලී තිබෙන අතර පාස්කු නිවාඩුව ගත කිරීම සඳහා එහි ගොස් තිබෙන බවට අනාවරණය වී ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි වියේ පසුවූ සිසිර ගජනායක නමැති පුද්ගලයකු සහ 21 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ පුත්‍රයා වන අතර ඔවුන් තවත් පිරිසක් සමඟ ඔස්ට්‍රේලියාවේ උතුරු කුවීන්ස්ලන්තයේ දිය ඇල්ලක් නැරඹීමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණපා තිබෙන බව වාර්තා වෙයි.

එහිදී දිය නෑමට ගොස් සිටි පියා ප්‍රථමයෙන් දියේ ගිලී තිබෙන අතර ඔහුව බේරා ගැනීමට දියණිය සහ පුත්‍රයා උත්සාහ කර ඇත. කෙසේ වෙතත් පසුව යළි ඔවුන් තිදෙනාම දියේ ගිලී ඇති නමුත් එම අවස්ථාවේ දියණියගේ දිවි බේරී ඇති බවද එම වාර්තා සඳහන් කරයි.

කෙසේ වුවද මේ සිද්ධිය සිදුවන අවස්ථාවේ එහි අවට සිටි පුද්ගලයන් හදිසි සේවා අමතා තිබෙන අතර අනතුරුව මොවුන් දෙදෙනා මුදා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අවස්ථාවේ කඩිනමින් ක්‍රියාත්මක වූ මුදා ගැනීමේ කණ්ඩායම් ඔවුන් බේරා ගැනීමට උත්සාහ දරා තිබෙන නමුත් ජීවිතක්ෂයට පත්ව තිබේ. දියේ ගිලුණු මේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා සහන හදිසි සේවා සපයන්නන් විසින් ගොඩගෙන තිබෙන අතර එහිදී පරිපූරක වෛද්‍ය කණ්ඩායම් විසින් හදිසි ප්‍රථමාධාර සිදු කර තිබෙන නමුත් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා මෙල්බර්න් නුවර පදිංචිකරුවන් වන අතර ඔවුන් පවුල් 4කට අයත් පුද්ගලයන් 18 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මේ විනෝද චාරිකාවට එක්ව ඇතිබව ද වැඩිදුරටත් වාර්තා වෙයි.