Saturday, October 26, 2024
Follow Us
වෙසක් උත්සවය චක්‍රලේඛවලට සීමා කරන්න එපා - අගමැති

වෙසක් උත්සවය චක්‍රලේඛවලට සීමා නොකරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ශාසනාරක්ෂක බලමණ්ඩල නියෝජිත හිමිවරු සහ බෞද්ධ සංවිධාන ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කොළඹ වෙසක් උත්සව පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (10) අරලියගහ මන්දිරයේ පැවැති අතර එහිදී අග්‍රමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

අපේ තරුණ පරම්පරාවට වෙසක් උත්සවය සාර්ථක කරගැනීමට මඟ පෙන්වීමේ වැඩසටහනක් විදියටයි මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ. ලොවට බුදු දහමේ ගෙනයාමේ ධර්මදූත ව්‍යාපාරය නව පරිවර්තනයකට යොමුකළ හැකි අවස්ථාවකට අපි එළැඹ සිටිනවා. ඒ සදහා ඒකාබද්ධව අත්වැල් බැදගැනීමටත්, සැලැස්මකට අනුව කටයුතු කිරිමටත් අවශ්‍යයි.

අපේ රජ දරුවෝ වෙසක් උත්සවය සාර්ථක කර ගැනීමට සිය දායකත්වය ලබාදී තිබේ. අපිත් දායක සභා, පොදු මහජනතාව ඒකාබද්ධ කර ගෙන වෙසක් උත්සවය උත්කර්ෂවත් අන්දමින් පවත්වමු. කොළඹ ප්‍රදේශයේ විහාරස්ථානවල වෙසක් මංගල්‍යය පැවැත්වීම සඳහා දැනටමත් කටයුතු ආරම්භ කර තිබෙනවා. රජයේ ආයතන හා පුද්ගලික ආයතන විහාරස්ථානවල මේ මහා පිංකම්වල සංවිධානය කර ගැනීම සඳහා සුදුසු පරිසරය සකස් සැකසීමට සහාය දැක්විය යුතුයි. වෙසක් උත්සවය චක්‍රලේඛවලට සීමා කරන්න එපා.