Saturday, October 26, 2024
Follow Us
වෛද්‍යවරුන්ගෙන් අවවාදාත්මක නිවේදනයක්

උත්සව සමයේ දරුවන්ට ගිනිකෙළි භාවිතයට ඉඩ නොදෙන ලෙස ජාතික අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුරත්න මහතා අවධාරණය කරයි.

 

ඔහු මේ බව පැවසුවේ එළඹෙන සිංහල හින්දු නව අවුරුද්දේ ගිනිකෙළි භාවිතයෙන් වන අනතුරු සම්බන්ධයෙන් ඊයේ (10) පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

සිංහල හින්දු නව අවුරුදු උදාවත් සමග විවිධ ආකාරයේ අනතුරු හේතුවෙන් ඇසට සිදුවන අනතුරු වල වර්ධනයක් දැකිය හැකි බවද නොදැනුවත්කම, අනවශ්‍ය අවදානමක් ගැනීම සහ නොදැනුවත්කම ආදී දෑ මෙවැනි අනතුරු සඳහා හේතු වන බවද ඔහු අවධාරණය කළේය.

උත්සව සමයේ රතිඤ්ඤා සහ ගිනිකෙළි භාණ්ඩ පරිභෝජය වැඩි වීමත්, ගෘහස්ථ අනතුරු සහ මාර්ග අනතුරු වැඩි වීමත් සිදුවන බවද මෙවැනි අනතුරු හේතුවෙන් නව අවුරුද්දේ ආරම්භයේ රෝහල්ගතකිරීමේ සිට ජීවිතාන්තය දක්වාද දෑස් අහිමි වීමක් හෝ ස්ථිර පෙනීම අඩුවීමක් සිදුවිය හැකි බවද ඔහු පැවසුවේය.

සමීක්ෂණ දත්ත අනූව ගිනිකෙළි ද්‍රව්‍ය නිසා ඇතිවන අනතුරු අතරින් වඩාත්ම බහුල වන්නේ අත් ඇඟිලි වලට සිදුවන අනතුරු බවද මෙය 46%ක් පමණ වෙයි. අනතුරු තුවාල වලින් 17%ක් ඇස් වලටද තවත් 17%ක් මුහුණ හිස ඇතුළු ප්‍රදේශ ආශ්‍රිතවද සිදුවන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මෙහිදී අනතුරු බහුල වන්නේ කු ඩා පිරිමි දරුවන් සහ තරුණයින් අතර බවද අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුරත්න මහතා සඳහන් කළේය.

කිසි විටෙක කුඩා ළමුන් විසින් ගිනිකෙළි දැල්වීමක් නොකළ යුතු බවද සෑම විටම වැඩිහිටියෙකුගේ අනුදැනුම මත ගිනිකෙළි ද්‍රව්‍ය භාවිතා කළ යුතු බවද ඔහු පැවසුවේය. නොදැල්වුණු රතිඤ්ඤා නැවත දැල්වීම නොකළ යුතු බවද දැල්වීම සිදුකළ යුත්තේ විවෘත ස්ථාන වල පමණක් බවද ඔහු සඳහන් කළේය.

ඉතා කුඩා අත්වැරදීමකින් ඔබගේ දරුවාගේ හෝ තරුණ වැඩිහිටි ඔබගේ ජීවිතයට නිවැරදි කළ නොහැකි කැළලක් ඉතිරි විය හැකි බව අමතක නොකරන ලෙසද වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.