Saturday, October 26, 2024
Follow Us
දෙමාපියන්ගේ සහ අධ්‍යාපන අමාත්‍යාශයේ අපේක්ෂාව ඉටු වෙයිද?

අ.පො.ස. උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් මේ වනවිට ගුරු වෘත්තීය සමිති ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති අතර විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ද උත්තර පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියට එක්වීම සඳහා කඩිනමින් ප්‍රතිචාර දක්වනු ඇතැයි ලක්ෂ සංඛ්‍යාත දරුවන් ඇතුළු දෙමව්පියන්ගේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේක්ෂාව අධ්‍යාපනය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ පහත සඳහන් කරුණු සඳහන් වේ .

" අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් 2023/04/06 දින එක්තරා ගුරු සංගමයක් විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා සිය අදහස් ඉදිරිපත් කළ බව මාධ්‍ය මගින් ප්‍රචාරය විය.

උසස් පෙළ විභාගය ආරම්භ වීමට පෙර උත්තර පත්‍ර ඇගයීමේ අයදුම්පත් කැඳවීමේ දී ඒ සඳහා ඉල්ලුම් කර තිබුණේ මුළු අවශ්‍යතාවය වන 19,000ක් පරීක්ෂකයන් සංඛ්‍යාවෙන් 12,000ක් පමණි.මෙම තත්වය තේරුම්ගත් අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු වෘත්තීය සමිති සමඟ සාකච්ඡා පවත්වා උත්තර පත්‍ර ලකුණු කිරීමට දෙනු ලබන ගාස්තුවට අමතරව දිනකට ගෙවනු ලැබූ රුපියල් 500ක සංහෘත දීමනාව රුපියල් 2000ක් දක්වා වැඩි කිරීමටත් කිලෝමීටර් 81ට වැඩි දුරක සිට උත්තර පත්‍ර ඇගයීමට පැමිණෙන ගුරුවරුන් සඳහා එම සංහෘත දීමනාව රුපියල් 2900ක් දක්වා වැඩි කර දීමටත් අදාළ සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් අතිරේක ප්‍රතිපාදන ද ලබාගන්නා ලදි.
මීට අමතරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ 2023.03.09 දින ප්‍රථම සාකච්ඡාව අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වූ අතර ඒ සඳහා භාණ්ඩාගාර නිලධාරීන් ඇතුළු අදාළ සියලු පාර්ශ්ව සහභාගී වූහ. ඒ අනුව සියලු රජයේ සේවකයන් සඳහා පොදුවේ පනවන ලද බදු මුදල සම්බන්ධයෙන් හැරුණුකොට අනෙකුත් ඉල්ලීම් ලෙස ඉදිරිපත් කළ කරුණු පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයේ ද එකඟතාව ඇති ව විකල්ප විසඳුම් ලබා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ද දැනුම්වත් කර ඇත. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලෙස මාධ්‍ය නිවේදන මගින් දැනුම්වත් කරන ලදි.
අධ්‍යාපන අමාත්‍යාංශය මෙම සංවේදී ප්‍රශ්නය පිළිබඳව අපොස උසස් පෙළ විභාගය ආරම්භයේ
සිට ම ගුරු වෘත්තීය සමිති හා විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා විසඳුම් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී ඇති අතර අධ්‍යාපන අමාත්‍යාශය උපරිම අයුරින් උත්තර පත්‍ර ඇගයීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇත."