Saturday, October 26, 2024
Follow Us
වකුගඩු ජාවාරම බොරැල්ල වෙස්ටර්න් රෝහල බොරු තොරතුරු දීලා

වකුගඩු බද්ධ කිරීම සම්බන්ධයෙන් සිදු වූ ආන්දෝලනාත්මක සිද්ධීන්වලට සම්බන්ධ බොරැල්ල, Òවෙස්ටර්න් රෝහලÓ විසින් සිදු කර ඇති සැත්කම්වලට අදාළ ලේඛන ව්‍යාජ තොරතුරු ඇතුළත් ඒවා බව ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අභියාචනාධිකරණයට පසුගියදා (03) දන්වා සිටියේය.

මෙම රෝහලේ වකුගඩු සැත්කම් දහසක් පමණ සිදු කර ඇති අතර, එම සැත්කම්වලට සිදු කළ විමර්ශන අවසන් වී ඇති බවත් නීතිපතිවරයා සඳහන් කළේය.

බොරැල්ල, ‘වෙස්ටර්න් රෝහලේ‘ සිදු කරන වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් අත්හිටුවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගත් තීරණයට එරෙහිව එම රෝහල ගොනු කර ඇති පෙත්සම

කැඳවූ අවස්ථාවේ දී අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා මේ බව සඳහන් කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරුන් ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදි.

එහි දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේ සිය සේවාදායකයාගේ රෝහලේ වකුගඩු සැත්කම් අත්හිටුවීමට නිකුත් කර ඇති ලිපිය නිසා විශාල අසාධාරණයක් සිදු වී ඇති බවත් එම රෝහලේ සියලු කටයුතු මේ වන විට අකර්මණ්‍ය තත්ත්වයට පත්වී ඇති බවත්ය.

රෝහලේ සේවකයන් එකසිය හැත්තෑ දෙනකුට පමණ මේ වන විට රැකියා අහිමි වීමේ අවදානමක් ඇති අතර, මේ මස වැටුප පවා ගෙවා ගත නොහැකි තත්ත්වයකට පත්වී ඇති බව ඒ මහතා සඳහන් කළේය.

එබැවින් ලිපිය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටියේය.

එහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා සඳහන් කළේ මෙම රෝහල සම්බන්ධයෙන් සත් දෙනකුගෙන් සමන්විත කමිටුවක් මඟින් විශේෂ විමර්ශනයක් සිදු කර ඇති බවත් එම විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර, අදාළ වාර්තාව විරෝධතා සමඟ අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය.

සෞදි අරාබිය වැනි රටවලට ආදරය සහ සෙනෙහෙවන්ත බව මත ඇතැම් වකුගඩු පරිත්‍යාග කර ඇති බව ලේඛනවල සඳහන් වන අතර, එම අදාළ වාර්තාව සහ මෙම පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණයට සුදුසු පියවරක් ගන්නා ලෙස ඒ මහතා ඉල්ලා සිටියේය.

ඒ අනුව කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා අප්‍රේල් මස 18 වැනිදාට පෙර ගොනු කරන ලෙස නියෝග කළ අතර, ඊට එරෙහි ප්‍රතිවිරෝධතා අප්‍රේල් මස 24දා හෝ ඊට පෙර ගොනු කරන ලෙසට නියම කළේය.

මැයි මස හතර වැනිදා මෙම පෙත්සම නැවත කැඳවීමට තීරණය කෙරිණි.

වකුගඩු බද්ධ කිරීම සම්බන්ධයෙන් සිදු වූ ආන්දෝලනාත්මක සිද්ධීන් කිහිපයක් මත බොරැල්ල, Òවෙස්ටර්න් රෝහලේÓ සිදු කරන වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් අත්හිටුවීමට තීරණය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිපියක් නිකුත් කළේය.

මෙම ලිපිය නිකුත් කිරීමට පෙර කිසිදු විමර්ශනයක් සඳහා සිය රෝහල කැඳවා නැති බව ද මූලික විමර්ශනයකින් තොරව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගනු ලැබූ මෙම තීරණය අසාධාරණ සහ අත්තනෝමතික සහ ස්වාභාවික යුක්ති මූලධර්මයට පටහැණි බව ද පවසමින් එම තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර ඇත.

නීතිඥ සංජීව කලුආරච්චි මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සහ හෆීල් පාරිස් සහ සහීඩා බාරී යන නීතිවේදීහු පෙත්සම්කාර රෝහල වෙනුවෙන් පෙනී සිටියහ.

Dinamina