Saturday, October 26, 2024
Follow Us
සිසුන් සමග පෙරළී ගිය කැබ් රථය ගැන හෙළිදරව්වක්

බදුල්ල ධර්මදූත මහ විදුහල සහ ඌව විදුහල අතර පැවති අන්තර් පාසල් වාර්ෂික ක්‍රිකට් තරගයට සමගාමීව සංවිධාන කළ රථ පෙළපාළියකදී කැබ් රථයක් පෙරළීයෑමෙන් සිසුන් දෙදෙනෙකු මියගොස් තවත් සිසුන් 06දෙනෙකු තුවාල ලබා තිබේ.

එලෙස මියගොස් තිබුණේ, බදුල්ල ධර්මදූත මහ විදුහලේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකි.

බදුල්ල ධර්මදූත මහ විදුහල සහ බදුල්ල ඌව විදුහල අතර වාර්ෂික ක්‍රිකට් තරගාවලිය අද (01) දෙවැනි දිනටත් බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණි.

මීට සමගාමීව එම පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් රථ පෙළපාළියක්ද බදුල්ල නගරයේ පවත්වා තිබුණි.

කෙසේවෙතත් එම රථ පෙළපාළියට ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීම නවත්වන්නැයි පොලීසිය දැනුම්දී තිබුණි.

ඒ, හේතුවෙන් සිසුන් රැගත් රථවාහන කිහිපයක් කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා බදුල්ලේ ඉදිකළ නව භූමියට පැමිණ එහි වාහන ධාවනය කරමින් විනෝදවීමට පියවර ගෙන තිබුණි.

එම අවස්ථාවේදී සිසුන් 15කට ආසන්න පිරිසක් රැගත් එක් කැබ් රථයක් හදිසියේ පෙරළීයාමෙන් අනතුරට ලක්වූ අතර එම අනතුර සිදුවන ආකාරය ජංගම දුරකතනයක පටිගත කර තිබුණි.

එම අනතුරින් තුවාල ලැබූ කැබ් රථයේ සිටි සිසුන් 08දෙනෙකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණි.

ඔවුන් සියලු දෙනාම 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් බව වාර්තා වෙයි.

ඒ අතර බරපතළ තත්ත්වයේ සිටි සිසුවෙකු රෝහලට රැගෙන යන අවස්ථාවේදී මියගොස් තිබූ අතර තවත් සිසුවෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

එලෙස මියගොස් තිබුණේ බදුල්ල ධර්මදූත විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ ආර්. එම්. රවිඳු සහ හරේන්ද්‍ර රුක්මාල් යන සිසුන් දෙදෙනාය.

ඔවුන් හාලිඇල සහ රඹුක්කන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

අනතුර සිදුවන අවස්ථාවේ රථය ධාවනය කර තිබුණේද සිසුවෙකු වන අතර ඔහුද තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

එම අනතුරත් සමග විදුහල් දෙක අතර පැවති මෙවර වාර්ෂික ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට විදුහල් බලධාරීන් තීරණය කර තිබේ.

ARUNA