Saturday, October 26, 2024
Follow Us
බෝ නොවන රෝගවලින් මිඳෙන්න කළ යුතු දේ

බෝ නොවන රෝග වලින් මිදීම සඳහා ක්‍රියාශීලීභාවය ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරින් බාලසිංහම් මහත්මිය පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ, පසුගියදා (29) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ශාරීරික ක්‍රියාශීලී මාසය ලෙස අප්‍රේල් මාසය නම්කර ඇතැයිද අප්‍රේල් මාසය තුළ ශාරීරික ක්‍රියාශීලීභාවය වැඩිකර ගැනීම සඳහා වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයිද ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරින් බාලසිංහම් මහත්මිය සඳහන් කළාය.

විශේෂයෙන්ම රැකියා ස්ථාන වල, පාසල් වල සහ ජනතාව අතරට මෙම පණිවිඩය රැගෙන යාමට වැඩසටහන් සංවිධානය කර ඇතැයිද මෙය සෑම වසරකම සිදුකරන බවද වෛද්‍යවරිය අවධාරණය කළාය.කියාශීලීභාවය වැඩි කිරීමේ අප්‍රේල් මාසය තුළ (move more month) අවුරුදු උත්සව වලින් පසුවද ක්‍රියාශීලීභාවය පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසද ජනතාවට කියා සිටියාය.

මෙම ක්‍රියාශීලී මාසයෙහි අරමුණ වනුයේ ශාරීරික ක්‍රියාශීලීත්වය පිළිබඳව සියලුදෙනා දැනුවත් කිරීම බවද, ඉන් අතිවන වාසි වහයෙන් අකල් මරණ වලින් ආරක්ෂා වීම, දියවැඩියාව, හෘදයාබාධ, ආඝාතය වැනි රෝගී තත්ත්වයන් ඇතිවීමේ අවධානම අඩුවන බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

රුධිර කොලෙස්ටරෝල් මට්ටම, අධි රුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් පාලනය කරගැනීමට පහසු වන අතරම අස්ථි, මාංශපේශි සහ සන්ධි වල සවිමත්භාවයටත් පිළිකා වැනි රෝගී තත්ත්වයන් වළක්වාගැනීමටත් ශාරීරික ක්‍රියාශීලීත්වය වැදගත් බවද පැවසුවාය.