Saturday, October 26, 2024
Follow Us
ජුනි 1 සිට ප්ලාස්ටික් භාණ්ඩ රැසක් තහනම් වෙයි

මේ වසරේ ජුනි මස පළමුවැනිදා සිට ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, ප්ලාස්ටික් මල්මාලා, ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි සහ ප්ලාස්ටික් බීම බට සහ කලතන යන නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිය, භාවිතය තහනම් කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ පැවසීය.

ඊට අදාළ රෙගුලාසි ගැසට් කිරීමට කටයුතු කරන බවද ජාත්‍යන්තර කසළ ශුන්‍ය දිනය සැමරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් කොළඹදී ඊයේ (30) පවත්වන ලද වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ සාගරයේ ප්ලාස්ටික අඩු කිරීමේ ක්‍රියාකාරිත්වය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව ජාත්‍යන්තර කසළ ශුන්‍ය දිනයේ මෙරට සැමරුම් දිනය පවත්වන ලදී. වසර 2025 වන විටදීද තවත් ප්ලාස්ටික් භාණ්ඩ කීපයක් තහනම් කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කළ සභාපතිවරයා ඊට අදාළ භාණ්ඩ ලැයිස්තුව සකස් කරමින් පවතින බව ද පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ සෝස් පැකට් ආදිය තවමත් තහනම් කර නොමැති බවයි.

මෙරට තුළ දෛනිකව කසළ මෙට්‍රික් ටොන් 7,000 කට ආසන්න ප්‍රමාණයක් ජනනය වන බවත් මෙරට ජනනය වන කසළවලින් සියයට 60 ක් ඉතා පහසුවෙන් පොහොර බවට පත්කිරීමේ හැකියාව පවතින බවත් සභාපතිවරයා සඳහන් කළේය. ඉතිරි කසළ ප්‍රමාණය ප්‍රතිචක්‍රීයකරණය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සහ පළාත් පාලන අධිකාරිය යාන්ත්‍රණයක් සකස් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.