Saturday, October 26, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට කළ සුවිශේෂ සැත්කම

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පෙනහළු සහ හෘදයයන අවයව 02ම එකවර රෝගියෙකුට බද්ධ කළ අතර මෙය කොළඹ ජාතික රෝහලේ මෙන්ම ශ්‍රී ලංකාවේ සිදුවූ සුවිශේෂී සිදුවීමක් බව ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, අද (29) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

මෙය මීට පෙර ශ්‍රී ලංකාවේ සිදු නොවුණු අලුත් දෙයක් බව කියා සිටි විශේෂඥ වෛද්‍යවරයා පසුගිය 23 වනදා මෙම ශල්‍යකර්මය සිදුකළ බවද සිහිපත් කළේය. දැනට දින 06කට පෙර සිදුකළ මෙම ශල්‍යකර්මය සඳහා 2021 වසරේ සිට සූදානම් වුණු බවද පැවසුවේය.

ශල්‍යකර්මයට ලක්වුණු මෙම රෝගියා සුවකළ නොහැකි පෙනහළු රෝගී තත්ත්වයකින් පසුවුණු බවද ඔහුව සුවකළ හැකි එකම ක්‍රමය වූයේ රෝගියාට වෙනත් අවයව බද්ධ කිරීම පමණක් බවද විශේෂඥ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

පෙනහළු බද්ධ කිරීම දිගටම පවත්වාගෙන යාමේදී හෘදය වස්තුව දුර්වල විය හැකි බැවින් හෘදය සහ පෙනහළු යන 02ම බද්ධ කිරීමට අවශ්‍ය වූ බවද ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. රෝගියා ඔක්සිජන් සමග දිගමට සිටි බවද ඔහුව රෝහල්ගත කිරීමෙන් පසුව ඔහුට සුදුසු අවයවයක් ලබාගත හැකි රෝගියෙකු පිළිබඳව අවධානයෙන් පසුවුණු බවද සිහිපත් කළේය.

මින් පෙර මෙවැනි ශල්‍යකර්මයක් මෙරට සිදුකර නොමැති බැවින් පැවති විශේෂඥ දැනුම අල්ප වූ බැවින් ඒ සම්බන්ධ දැනුමක් ඇති රෝහලක් සමග සම්බන්ධ වීම සඳහා ඉන්දියාවේ එම් ජී එම් රෝහල සමග සම්බන්ධ වුණු බවද කියා සිටියේය.

එම රෝහලේ වෛද්‍යවරුන් මෙරටට පැමිණ රෝගියා පරීක්ෂා කර බලා ශල්‍යකර්මය සිදුකිරීමට අවැසි අවශ්‍යතා දැනුම්දුන් බවද ඔහු කීවේය. ප්‍රතිපත්තිමය තීරණයක් වශයෙන් මෙය සිදුකළ යුතු නිසා සෞඛ්‍ය ඇමතිතුමා හමුවී ප්‍රතිපත්තිමය වශයෙන් සාකච්ඡා කර කොළඹ ජාතික රෝහලේ මෙම ශල්‍යකර්මය සිදුකිරීමට තීරණය කළ බවද සඳහන් කළේය.

මෙම ශල්‍යකර්මය සාර්ථකව සිදුකරගැනීමට වෛද්‍ය නිලධාරීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය සිදුකළ සුවිශේෂී මෙහෙය මෙන්ම කණ්ඩායම් හැඟීමෙන් ඉතා කැපවීමෙන් අවසානය තෙක් සිදුකළ දායකත්වයද අගය කළ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් ලබාදුන් මොළය මියගිය දියණියගේ අවයවය ශල්‍යකර්මය සඳහා ගැලපුණු බවද පැවසුවේය.

රෝගියා තවමත් දැඩිසත්කාර ඒකකයේ තවමත් තරමක් අමාරු තත්ත්වයේ පසුවන අතර ටිකෙන් ටික ඔහු යථා තත්ත්වයට පත්වන බවද ඉදිරි දින කිහිපය තුළ රෝගියා සාමාන්‍ය තත්ත්වයට හැකි වෙතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

ඉදිරියටත් සාර්ථක ලෙස මෙවැනි ශල්‍යකර්ම රට තුළ සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ඔහු අවධාරණය කළේය.