Saturday, October 26, 2024
Follow Us
රත්නපුරෙන් ග්ලෝකෝමා රෝගීන් 100කට අධික පිරිසක්

මාර්තු 12 ට යෙදී තිබූ ලෝක ග්ලෝකෝමා දිනයට සමගාමීව ග්ලෝකොමා රෝගීන් කල්තියා හදුනා ගැනීම සදහා වූ විශේෂ අක්ෂි සායනයක් පසුගියදා (18) රත්නපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම විශේෂ අක්ෂි සායනය විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය අයස්මන්ත පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේ වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැති අතර, සිය අක්ෂි පරීක්ෂා කර ගැනීම සදහා දහසකට අධික පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

මෙහිදී ග්ලෝකෝමා රෝගීන් 100 කට අධික පරිසක් හදුනාගැනීමට හැකි වූ අතර, ග්ලෝකෝමා අවධානම් අවධියේ පසුවන රෝගීන් බහුතරයක්ද හඳුනා ගැනීමට හැකියාව ලැබිණි. එම රෝගීන් වෙත ප්‍රතිකාර සේවාවන්ද එදින සිටම ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබූ තිබිණි. ඇසේ සුද මතුවීම, අක්ෂි පීඩනය ඇතුළු ‌වෙනත් අක්ෂි රෝගවලට ලක්ව සිටි රෝගීන්ද මෙම සායනය තුළින් හදුනා ගැනීමට හැකි වූ අතර, ඇස් පෙනීමේ දුර්වලතාවයන් ඇති පිරිස් අක්ෂි පරීක්ෂාව සදහා යොමු කර ඇස් කන්නාඩි සදහා නිර්දේශ කිරීමටද කටයුතු කෙරිණි.

මෙම සායනය සදහා එක්ව සිටි ජනතාව ප්‍රකාශ කරන ලද්දේ පුර්ණ අන්ධභාවයට පවා බලපාන ග්ලෝකෝමා රෝගය පිළිබද තමන් දැනුවත්ව නොසිටි බවයි.

මෙවර ජාතික ග්ලෝකෝමා දිනය “ලෝකය දීප්තිමත්ය, ඔබේ පෙනීම සුරකින්න” යන්න තේමා කර ගනිමින් පැවැත්විණි. ඒ අනුව ග්ලෝකෝමා රෝගීන් කල්තියා හදුනා ගැනිම, ප්‍රතිකාර සදහා යොමු කිරීම හා රෝගය පිළීබද ජනතාවට උපදෙස් හා දැනුම ලබාදීම අරමුණු කරගෙන අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, විෂන් 2020 ව්‍යාපෘතිය සහ, ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහල, සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ඒකාබද්ධව මාර්තු මස 12-18 දක්වා ජාතික ග්ලෝකෝමා සතියක්ද ක්‍රියාත්මක කරන්නට විය. මෙම විශේෂ අක්ෂි සායනය ද එම වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කළ එක් වැඩසටහනකි.

ග්ලෝකෝමාව යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා ජනයා සදාකාලික අන්ධභාවයට පත් කරන ප්‍රධානතම රෝගී තත්ත්වයක් වන අතර, එය අන්ධභාවයට බලපාන තුන්වන හේතුවයි. ග්ලෝකෝමාව නිසා අන්ධභාවයට පත් වූ ජනතාව මිලියන 4.5 කි. තවත් මිලියන ගණනක් අල්ප දෘෂ්ඨිකතාවයෙන් පෙළේ. ග්ලෝකෝමාව මුල් අවස්ථාවේ දී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර, අක්ෂි ස්නායුවට ස්ථීර හානි සිදුවීම නිසා ක්‍රමයෙන් අන්ධභාවයට පත්වේ. කල් ඇතිව රෝගය හඳුනා ගැනීම මගින් පෙනීම ආරක්ෂා කර ගත හැකි වේ. වයස අවුරුදු 40 ට වැඩි පිරිස් වසර 2-3 කට වරක්වත් ග්ලෝකෝමාව සඳහා අක්ෂි පරීක්ෂාව සිදුකර ගත යුතුය. මෙම රෝගී තත්ත්වය හේතු‌‌වන් මෙරටද දහස් ගණනක් අන්ධභාවයට පත්ව ඇති අතර, දහස් ගණනක් අල්ප දෘෂ්ඨිකත්වයෙන් පීඩා විදිති. ග්ලෝකෝමාව හදුනා ගැනීම සදහා දෘෂ්ඨි ස්නායු පරීක්ෂාව, ඇසේ පීඩනය මැනීම, ඇසේ දෘෂ්ඨි පරාසය මැනීම, ස්නායු සදහා OCT පරීක්ෂාව සිදු කරන අතර, ප්‍රතිකාර සදහා යොදා ගනු ලබන ඖෂධ ඉතා මිල අධික ‌‌වේ. ග්ලෝකෝමාව පාලනය සඳහා ඖෂධ ප්‍රතිකාර, ලේසර් කිරණ ප්‍රතිකාර සහ ශල්‍ය ප්‍රතිකාර සිදු කරනු ලබයි.

අක්ෂි පරීක්ෂාව අක්ෂි ඒකකයක් ඇති ඕනෑම රජයේ රෝහලකින් සිදු කරගත හැකි අතර, ජාතික අක්ෂි රෝහල, ශික්ෂණ රෝහල්, මහ රෝහල්, ඇතැම් මූලික රෝහල් මගින් ද නොමිලේ සිදු කරනු ලැබේ.