Saturday, October 26, 2024
Follow Us
සියදිවි නසාගැනීම් මාධ්‍ය වාර්තාකරණය ඉතා වගකීමෙන් කළ යුතුයි

සියදිවි නසාගැනීම් සම්බන්ධව වාර්තාකරණය ඉතා වගකීම් සහගත ලෙස මෙන්ම සීරුවෙන් කළ යුතු දෙයක් බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය දියනාත් සමරසිංහ මහතා අවධාරණය කළේය.

සියදිවි නසා ගැනීම පිළිබඳව වගකීම් සහිත වාර්තාකරණය සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවේදී ඒ් මහතා මේ බව සඳහන් කළේය.

විශේෂයෙන්ම මාධ්‍යවලින් සියදිවි නසාගැනීම් පිළිබඳව වාර්තාකරණයේදී එය වාර්තා කළ යුතුද යන්න දෙවරක් සිතා බැලිය යුතු යැයිද එවැන්නක් වාර්තාකරන අවස්ථාවකදී අදාළ පුද්ගලයා සියදිවි නසාගත් ආකාරය සවිස්තරාත්මක ලෙස හුවාදැක්වීම, සියදිවි නසාගැනීම් සම්බන්ධ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කිරීම මෙන්ම ඒ සඳහා යොදා ගන්නා පොදු ක්‍රමවේද ආදිය ඉදිරිපත් කිරීම නුසුදුසු බවද එමගින් තවත් පුද්ගලයන් සියදිවි නසාගැනීමට පෙළඹවීමට ඉඩ ඇති බවද සඳහන් කළේය.

සෑම එක් සියදිවි හානිකර ගැනීමකදීම විසි දෙනෙකු සියදිවි හානිකරගැනීමට තැත් කරන බවටද මෙහිදී කරුණු අනාවරණය විය.

මාධ්‍ය ඔස්සේ සියදිවි නසාගැනීම් වාර්තාකරණය ධනාත්මක සහ සෘණාත්මකව සිදුකිරීම මගින් සමාජයේ සියදිවි නසාගැනීම් අඩුවැඩිවීම තීරණය වන බවද අවධාරණය කළේය.