Saturday, October 26, 2024
Follow Us
කාන්තා ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමට රු.මි. 171ක්

ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමගාමීව කාන්තා ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම උදෙසා කර්මාන්ත අමාත්‍යංශය විසින් කාන්තා ව්‍යවසායකයින් 10 දෙනෙකු වෙත රුපියල් මිලියන 171ක ණය පහසුකම් ලබා දීම කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුකෙරිණි.

ශක්තිමත් සාර්ව ආර්ථික පරිසරයක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීම වෙනුවෙන් කාන්තා ව්‍යවසායකවරියන් ලෙස ආර්ථිකයට කරනු ලබන දායකත්වය ඇගයීම සහ ඔවුන්ගේ ව්‍යාපාරයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක මෙම චක්‍රීය ණය යෝජනා ක්‍රමය කර්මාන්ත අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් ක්‍රියාත්මක කරනු ලබන්නකි. කුඩා හා සුළු පරිමාණ කර්මාන්තයන්හි නායකත්වය සහ ව්‍යවසායකයින් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ( SMILE 3 ) ලෙසින් මෙම ණය වැඩසටහන හරහා සුළු හා කුඩා ව්‍යාපාරිකයන් උදෙසා වාර්ෂික පොලී අනුපාතය 8% ක හා 5% ක අඩු පොලී අනුපාතිකයක් යටතේ එක් අයෙකුට රුපියල් මිලියන 25 ක උපරිමයක් දක්වා ණය පහසුකම් ලබාදීම සිදුකරයි.

මේ වනවිට සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වයෙන් රටේ ආර්ථිකයට 52% දායකත්වයක් ලබා දෙන අතර එයින් විශාල පිරිසක් කාන්තා ව්‍යවසායිකාවන් වෙයි. රටේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය , විදෙස් ශ්‍රමිකයන්, ඇගලුම් අංශය, වැනි අංශයන් තුළ කාන්තා දායකත්වය ඉතා වැඩි අගයක් ගෙන තිබේ. එනිසා මෙවැනි ණය යෝජනා ක්‍රමයක් හරහා කාන්තා ව්‍යවසායකත්වය වඩාත් ශක්තිමත් කිරීම නව නිෂ්පාදන සහ අපනයනාභිමුඛ නිෂ්පාදන මෙරට තුළ ප්‍රවර්ධනය කිරීම උදෙසා මහත් රුකුලක් වෙයි.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , අතිරේක ලේකම් ඩී. නන්දනී සමරවික්‍රම , නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ කේ.එම්.රිස්වි , ව්‍යාපෘති මූල්‍ය නිළධාරි එච්.එස්.ප්‍රනාන්දු ඇතුළු අමාත්‍යංශ නිලධාරින් එක්ව සිටියහ.