Saturday, October 26, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ සුපවේදීන්ට නව අවස්ථාවක්

ඕස්ට්‍රේලියාවේ විශාලතම ගුවන් ගමන් ආහාර සැපයුම්කරු වන Dnata සමූහය ශ්‍රී ලංකාවෙන් සූපවේදීන් බඳවා ගැනීමට සූදානම් බව මෙරට විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

ඒ පසුගිය දා අමාත්‍යවරයා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාවේ දී Dnata සමූහයේ නියෝජිතයන් විසින් මේ බව අමාත්‍යවරයාට පැවසු අවස්ථාවේ දී ය.

එහි දී ඕස්ට්‍රේලියාවේ රැකියා අවස්ථාවන් සඳහා මෙරට තරුණ තරුණියන් පුහුණු කර බඳවා ගැනීමට ද සූදානම් බවත්, සූපවේදී කාණ්ඩය යටතේ මෙරට තරුණ තරුණියන් 12 දෙනෙකු මේ වන විටත් Dnata සමූහයේ රැකියා සඳහා තෝරාගෙන ඇති බවත්, ඔවුන් ඕස්ට්‍රේලියාවේ රැකියාගත කරන බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීමට සූදානම් බවත් ඔවුන් ඊයේ අමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම, ඔවුන්ගේ රැකියා අවශ්‍යතාවන් අනුව මෙරට තරුණ තරුණියන් පුහුණු කර රැකියා ගත කිරීමට අපේක්ෂා කරන බවත්, පුහුණු වෘත්තිකයක් සඳහා රැකියා අවස්ථා ඕනෑ තරම් පවතින බවත් Dnata සමූහයේ නියෝජිතයන් එහි දී ප්‍රකාශ කර තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යංශය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීමෙන් අනතුරු ව සංචාරක කර්මාන්තයට සම්බන්ධ පුහුණු ආයතන හා සාකච්ඡා කර, තරුණ තරුණියන් වෙත පුහුණු අවස්ථා සකස් කර දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසා සිටි අතර, එහි දී Dnata සමූහයේ නියෝජිතයන් අමාත්‍යවරයා වෙත පවසා සිටියේ මෙරට තරුණ තරුණියන් ඕස්ට්‍රේලියාවේ රැකියා ගත කිරීමේ දී තමන් මුහුණ දෙන ප්‍රධාන ම අභියෝගය වී ඇත්තේ ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම බවත්, මෙරට වෘත්තීය සූපවේදීන්ට පවා ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව නොමැති බැවින් ඕස්ට්‍රේලියාවේ බොහෝ රැකියා අවස්ථා අහිමි වන බවත් ඔවුන් එහි දී අමාත්‍යවරයා වෙත පවසා සිටියා.

Dnata සමූහය එමිරේට් ඩුබායි හි අනුබද්ධ ආයතනයක් වන අතර මේ වන විට තුන් දහසකට අධික පිරිසක් එහි සේවය කරනු ලැබේ. එසේ ම වාර්ෂිකව ගුවන් ගමන් වාර 250,000 ක් සඳහා ආහාර සැපයුම් කරන අතර ආහාර වේල් මිලියන 64ක් නිකුත් කරනු ලබයි. ඒ සඳහා නගර 09ක, ගුවන්තොටුපල 15ක මෙහෙයුම් කටයුතු සිදු කෙරේ. එසේ ම ගුවන් ගමන් ආහාර සැපයුම්කරුවකුගේ කාර්යයට අමතර ව ගුවන් තොටුපළ විවේකාගාර කළමණාකරණය මෙන් ම ප්‍රතිසැකසුම් ආහාර නිෂ්පාදනයේ ද නිරතව සිටී.

මේ මඟින් සූපවේදය, ආහාර සැකසුම් කර්මාන්තය සේ ම ගුවන්තොටුපළ විවේකාගාර ක්ෂේත්‍රයේ රැකියාවන්හි නිතර වීමට අපේක්ෂා කරන මෙරට තරුණ තරුණියන්ට පුහුණු රැකියා සඳහා අවස්ථාව උදා වනු ඇත. එය ක්‍රමයෙන් ගොඩනැගමින් යන ලංකාවේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු සාධකයක් ද වනු ඇත.