Saturday, October 26, 2024
Follow Us
කච්චතිව් ඓතිහාසික දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය අති උත්කර්ෂවත්ව

කච්චතිවු ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය නාවික හමුදාවේ දායකත්වයෙන් අති උත්කර්ෂවත්ව පවත්වයි.

ඉන්දු - ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, යාපනය පදවියේ රදගුරු, ගරු ජස්ටින් ඥානප්‍රකාසම් පියතුමාගේ හා කොළඹ සහයක රදගුරු ගරු ඇන්ටන් රන්ජිත් පිල්ලෙනායගම් පියතුමා ගේ මෙහෙයවීමෙන්, යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරම් මහතා ගේ සහ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සංවිධායක දායකත්වයෙන් සහ ශ්‍රී ලාංකික හා ඉන්දියානු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2023 මාර්තු මස 03 සහ අද දින (2023 මාර්තු 04) අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද අතර, එහි අවසන් පූජා අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා නියෝජනය කරමින්, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් මහතා සහභාගී විය.

ඉන්දීය සහ ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාව මහත් ගෞර‍ව‍ බහුමානයෙන් පුද පූජා පවත්වනු ලබන කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිඳුන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකල මෙම දේවස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපනය වෙනුවෙන් සෑම වසරකම නාවික හමුදාව සුවිශේෂි දායකත්වයක් දක්වනු ලබයි.

ඒ අනුව, මෙවරද මෙම දේව මංගල්‍යය ඉතා උත්කර්ෂවත්ව පැවැත්වීම සඳහා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති ගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සියළු පහසුකම් සම්පාදනය කිරීමට කටයුතු කෙරිණි.

එහිදී, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඩෙල්ෆ්ට් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා සම්බන්ධීකරණය වී බැතිමතුන් හට අවශ්‍ය පානීය ජලය, ආහාර, සනීපාරක්‍ෂක පහසුකම්, තාවකාලික කුටි, තාවකාලික මංමාවත් හා ජැටි සකස් කිරීම මෙන්ම විදුලි බල පහසුකම් ස්ථාපනය, බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීම මෙන්ම, වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලයකින් සමන්විත වෛද්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමද නාවික හමුදාව විසින් සිදු කෙරිණි.

එමෙන්ම, මෙම වාර්ෂික දේව මංගල්‍යය සඳහා පැමිණි සම්භාවනීය අමුත්තන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, පූජකවරුන්, රාජ්‍ය නිලධාරීන්, බැතිමතුන් ඇතුළු අනෙකුත් සේවාවන් සැපයීම සඳහා පැමිණි ජනතාව මෙන්ම දෙස් විදෙස් මාධ්‍යවේදීන් හා දේව මෙහෙය සඳහා අවශ්‍ය විවිධ භාණ්ඩ හා උපකරණ ද කන්කසන්තුරය සහ කුරිකඩ්ඩුවාන් සිට කච්චතිව් දූපත දක්වා ආරක්‍ෂිතව මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීම සඳහාද අවශ්‍ය සියළු කටයුතු නාවික හමුදාවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි.

මෙම දේව මෙහෙය සාර්ථකව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විශාල කාර්යභාරයක් සිදුකරන අතරතුර, නාවික හමුදාධිපති ගේ උපදෙස් මත මුහුදු මාර්ගයෙන් සිදුකෙරෙන නීතී විරෝධි කටයුතු මැඩ පැවත්වීම සඳහාද දැඩි අවධානයෙන් පසුවෙමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාවට නැංවීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.

තවද, කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සඳහා දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන්, හිටපු නාවික හමුදාධිපතිවරයෙක් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වරයෙක් වන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික) මහතා , ශ්‍රී ලංකා සහ ඉන්දීය පූජක ප්‍රසාදීන් වරුන්, රජයේ නිලධාරීන්, විශේෂ පුද්ගලයින්, දෙස් විදෙස් මාධ්‍යවේදින්, ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ නිලධාරීන් ඇතුළු ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ ඉන්දීය හා ශ්‍රී ලංකික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.