Saturday, October 26, 2024
Follow Us
දෝෂ නිවැරදි කිරිමට සති දෙකක කාලයක්

බස්නාහිර පළාතේ ධාවනය වන බස් රථ සියයට පනහකින්ම වායු දූෂණය සිදුවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම දෙපාර්තමේන්තුවේ වායු විමෝචන අරමුදල මගින් කොළඹ බැස්ටියන් මාවත සහ ගුණසිංහපුර පෞද්ගලික බස් නැවතුම්පොළදී බස් රථ අහඹු ලෙස තෝරා ගනිමින් සිදුකළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත.

සමස්තයක් ලෙස ගත්කල මෙම තත්ත්වය බොහෝ බස් රථවලින් පෙන්නුම් කරන බවත් එවන් බස් රථ ඇතුළු වාහන වෙන්ව හඳුනා ගැනීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර තිබෙන බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන අරමුදලේ අධ්‍යක්ෂ ඉංජිනේරු අයි.ජී. දසුන් ජනක පැවැසීය.

එම වැඩසටහන මගින් හඳුනා ගන්නා වාහනවල ආදායම් බලපත් තම බාරයට ගෙන දෝෂ නිවැරැදි කරගැනීමට දෙසතියක කාලයක් ලබා දෙන බවත් මාසයකට වැඩි කාලයක් දෝෂ නිවැරැදි කර නොගන්නේ නම් පොලිසිය හරහා එම වාහන හිමිකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවත් අධ්‍යක්ෂවරයා කීවේය.

කොළඹ තදාසන්න ප්‍රදේශවල බස් රථවලට අමතර වෙනත් වාහනවලින්ද පිටවන විස දුම නිසා පරිසර දූෂණයට අමතරව මහජනතාවටත් ශ්වසන රෝග ඇතුළු විවිධ රෝගවලට ගොදුරු වීමේ අවධානමක් පවතින බවත් මෙයින් දැඩි බලපෑමට ලක්ව ඇත්තේ මාර්ගවල රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් බවත් අධ්‍යක්ෂවරයා කීවේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවලින්ද පරිසර හිතකාමී නොවන අන්දමින් දුම් පිටවන බව නිරීක්ෂණය වන බවත් එම බස් රථ ආදායම් බලපත්‍රවලින් නිදහස් කිරීම නිසා මේ පිළිබඳ අවධානය ගිලිහී ගොස් ඇති බවත් වාර්තා වේ.

Aruna