Saturday, October 26, 2024
Follow Us
කච්චතිව් දූපතේ ඓතිහාසික දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය හෙට සහ අනිද්දා

ඉන්දු - ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ,ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය හෙට (03) සහ අනිද්දා (04) දෙදින පැවැත් වේ.

යාපනය පදවියේ රදගුරු, ජස්ටින් ඥානප්‍රකාසම් පියතුමාගේ මෙහෙයවීමෙන් දේව මෙහෙය පැවැත් වේඋත්සවය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෙන් ස්ථාපනය කරනු ලබයි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණයෙන්, කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන් හට අවශ්‍ය පානීය ජලය, සනීපාරක්‍ෂක පහසුකම්, තාවකාලික කුටි, තාවකාලික මංමාවත් හා ජැටි සකස් කිරීම මෙන්ම විදුලි බල පහසුකම් ස්ථාපනය කිරීමද මේ දිනවල කඩිනමින් සිදුකරමින් පවතී.

එමෙන්ම, බැතිමතුන්ගේ ආරක්‍ෂාව සඳහා ජීවිතාරක්‍ෂක කණ්ඩායම් යෙදවීමට අවශ්‍ය ස්ථාන හඳුනා ගැනීම හා වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා තාවකාලික ගිලන්හලක් ඉදිකිරීමද නාවික හමුදාව විසින් සිදුකරනු ලබන අතර, නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකරන ලද කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ තීන්ත ආලේප කිරීම ඇතුළු අළුත්වැඩියා කටයුතු සහ දේවස්ථානය අවට ප්‍රදේශය හා මංමාවත් පිරිසිදු කිරීම ද නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි.

වාර්ෂිකව පැවැත්වෙන මෙම දේව මංගල්‍යය සඳහා මෙම වසරේ ඉන්දියානු හා ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ඒ අනුව, කන්කසන්තුරය සහ කුරිකඩ්ඩුවාන් සිට කච්චතිව් දූපත දක්වා පූජකවරුන්, රජයේ නිලධාරීන්, විශේෂ පුද්ගලයින්, බැතිමතුන්, දෙස් විදෙස් මාධ්‍යවේදීන් හා දේව මෙහෙය සඳහා අවශ්‍ය විවිධ භාණ්ඩ හා උපකරණ නාවික හමුදාවේ අධීක්ෂණයෙන් ආරක්‍ෂිතව මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීම සඳහා කටයුතු සම්පාදනය කර ඇත.