Saturday, October 26, 2024
Follow Us
සංචාරකයන් වෙනුවෙන් විශේෂ බලකායක්

සංචාරක හා ඉඩම් සහ මහජන ආරක්ෂක යන අමාත්‍යාංශ දෙකෙහි නිලධාරීන්ගෙන් හා උසස් පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ ආරක්ෂක කමිටුවක් පත් කිරීමටත්, අදාළ කමිටුව මගින් දෙසතියක් තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව වූ වාර්තාවක් සකස් කිරීමටත් තීරණය කර තිබේ.

සංචාරක කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් වූ සාකච්ඡාවක් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සහභාගීත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැති අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.

සංචාරක කලාප තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් පිළිබඳව, විශේෂයෙන්ම රාත්‍රී කාලයේ දී සංචාරක අවන්හල් විවෘත කර තබන වේලාවන් දීර්ඝ කිරීම පිළිබඳව, සංචාරක කර්මාන්තය සඳහා වූ නව නීති සම්පාදනය කිරීම පිළිබඳව, සංචාරකයන් මුහුණ දෙන යම් යම් අර්බුදකාරී තත්ත්වයන්හි දී ක්ෂනිකව ක්‍රියාත්මක වන පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ බලකායක් පිහිටුවීම ඇතුළු තීන්දු රැසකට මෙම සාකච්ඡාවේ දී එළඹ තිබේ.

එම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, පොලිස්පතිවරයා හා පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්, සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් එක් සිටියහ.