Saturday, October 26, 2024
Follow Us
ග්‍රාමීය ණය සහ සමාජ ආරක්ෂණ දැල සම්බන්ධයෙන් ජාතික සභා අනු කාරක සභාවේ අවධානය

ග්‍රාමීය ණය සහ සමාජ ආරක්ෂණ දැල සම්බන්ධයෙන් ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා විය.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙම කාරක සභාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යන ආයතනය සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඇතුළු ආයතන ගණනාවක් නියෝජනය කරන නියෝජිතයින් සහභාගී විය.

මෙහිදී අඩු ආදායම්ලාභීන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ආරම්භ කළ සමෘද්ධි වැඩසටහන ඇතුළු වෙනත් වැඩසටහන් මගින් ප්‍රතිලාභීන්ට සහන බෙදාහැරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. මේ අනුව මෙම ප්‍රතිලාභ ක්‍රමවත්ව අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් බෙදාහැරීම සම්බන්ධයෙන් ක්‍රමවේද සකස්කිරීම පිළිබඳව පැමිණ සිටි පාර්ශ්ව අදහස් දැක්වීම සිදු විය.

එසේම සමෘද්ධි බැංකුව ඇතුළු ග්‍රාමීය බැංකු මගින් ණය සහන ලබාදීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.