Saturday, October 26, 2024
Follow Us
චන්දිම වීරක්කොඩිට සභාපති ධූරයක්

ශ්‍රී ලංකා - ඇමෙරිකානු එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී  චන්දිම වීරක්කොඩි මහතා ඊයේ (23) තේරි පත්විය. 

ශ්‍රී ලංකා - ඇමෙරිකානු එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය වන ජූලි චන්ග් මහත්මිය මෙහිදී විශේෂ ආරාධිතයා වශයෙන් එක්වූ අතර, පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය  (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහිදී ශ්‍රී ලංකා - ඇමෙරිකානු එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව ලේකම්වරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී  (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා ද උප සභාපතිවරුන් වශයෙන් රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන  නීතිඥ තලතා අතුකෝරල මහත්මිය සහ වේලු කුමාර් මහතා ද තේරී පත්වූහ.

මීට අමතරව, මිත්‍රත්ව සංගමයේ භාණ්ඩාගාරික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී  (ආචාර්ය) නාලක ගොඩහේවා මහතා සහ උප ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ද මෙහිදී තෝරාපත් කර .ගැනුණි. 

රැස්වීම අමතමින් කථානායකවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාව සහ ඇමෙරිකානු එක්සත් ජනපද අතර දශක ගණනාවක සිට පැවතෙන ද්වීපාර්ශවීය සබදතා මෙම සංගමය හරහා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි. එසේම  ඇමෙරිකානු එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගයන්ට ස්තූතිය පළ කළේය.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය ජූලි චන්ග් මහත්මිය අභිනව නිලධාරී මඩුල්ලට සුබ පැතුම් එක්කරමින් ප්‍රකාශ කර සිටියේ මෙම මිත්‍රත්ව සංගමය පිහිටුවීම තුළින් දෙරට අතර පාර්ලිමේන්තු හුවමාරු සහ අන්තර් සහයෝගීතාව ශක්තිමත් වනු ඇති බවයි.

මෙම රැස්වීමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරයන් රැසක් සහභාගී වූහ