Saturday, October 26, 2024
Follow Us
අධ්‍යාපන අමාත්‍යාංශයේ කලබල කළ පිරිස පොලීසියට

සියලු කරුණු පැහැදිලි කර තිබියදී මෙරට ලක්ෂ 42ක් දරුවන්ගේ සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ව කටයුතු කරන අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට කිසිදු පූර්ව දැනුම්වත් කිරීමකින් තොරව බලහත්කාරයෙන් ඇතුළු වී කලබලකාරී ලෙස හැසිරීම නිසා පොලීසිය විසින් අමාත්‍යාංශ පරිශ්‍රයට පැමිණ නීත්‍යනුකූලව කටයුතු කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භික්ෂුන් වහන්සේලා හා අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ කැඳවුම්කරු සමග තවත් කණ්ඩායමක් විසින් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී කලබලකාරී තත්වයක් ඇති කළ බව ද අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ගැටලුව සම්බන්ධයෙන් පසුගිය සතියේ භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලක සභාවත්, විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයත්, අධ්‍යාපන අමාත්‍යවරයා හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී දිර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇත. එහි දී පාලක සභාව විසින් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත පියවර පිළිබඳ ව දැනුම්වත් කර තිබේ.

එම විශ්වවිද්‍යාලයේ කටයුතු සම්බන්ධයෙන් අදාළ පියවර ගැනීම සඳහා පාලක සභාවට බලය පැවරී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශ විසින් දැනුම් දුන් අතර ඒ අනුව හැකි ආසන්න ම දිනයක දී එම විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසත් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට නොමැති බවත් පැවති සාකච්ඡාවේ දී පාලක සභාව වෙත වැඩිදුරටත් දැනුම් දුන්නේය.

ඒ අනුව පාලක සභාව දැනුම් දුන්නේ සති අන්තයේ පිරිත් සජ්ඣායනා කර අනතුරු ව 27 වැනි සඳුදා සිට අදියරයන් යටතේ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි.

තව ද ශිෂ්‍යයන් කීප දෙනෙකුගේ පන්ති තහනම් කිරීම සිදු කර ඇත්තේ පාලක සභාව මගින් වන අතර ඒ අනුව පාලක සභාව මගින් ගනු ලබන තීරණ වෙනස් කිරීමට අමාත්‍යාංශයට බලයක් නොමැති බවත් එම තීරණයේ යම් වෙනසක් සිදු කරයි නම් එය කළ යුත්තේ පාලක සභාව මගින් බවත් අමාත්‍යාංශයට ඒ සඳහා කිසි දු මැදිහත්වීමක් සිදු කළ නොහැකි බවත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.