Saturday, October 26, 2024
Follow Us
යුද්ධ හමුදාව නීතිවිරෝධි මත්ද්‍රව්‍ය වැටලීම් ඉහළ දමයි

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙහෙයුම් සහ බුද්ධි ආවේක්ෂණ රාජකාරි පුළුල් කරන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට සහ අදාළ සියලුම පාර්ශවයන්ට උපදෙස් ලබා දී ඇත .

2022 වසර තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශ මගින් රැස්කරගත් බුද්ධි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුකළ වැටලීම්වලදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පුද්ගලයින් 981 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ වැටලීම්වලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 717ට ආසන්න ප්‍රමාණයක්, ගංජා කිලෝග්‍රෑම් 685ට ආසන්න ප්‍රමාණයක්, අයිස් කිලෝග්‍රෑම් 14කට ආසන්න ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් දෙකකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. ඊට අමතරව කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍යයද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් නීතිවිරෝධී මත්ද්‍රව්‍යය සමඟින් සැකකරුවන් 831 දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය වෙත භාර දී ඇත.

එසේම නීති විරෝධී දේශීය මත්පැන් බෝතල් 20 ක් සහ ලීටර් 28000 කට ආසන්න ප්‍රමාණයක් සහ විදේශීය මත්පැත් බෝතල් 57ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 89 දෙනෙකු අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා පොලීසියට භාර දී ඇත.

මීට අමතරව නීතිවිරෝධී දුම්වැටි කාර්ටූන් 59ක් සහ පෙට්ට් 4ක් , මත්පෙති 75181ක් සහ කාර්ඩ් 10ක්, මදන මෝදක ගුලි 155ක් සමඟ සැකකරුවන් 61 දෙනෙකු 2022 වර්ෂයේදී යුද්ධ හමුද‍ාවට ලැබුණු බුද්ධි තොරතුරු අනුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුකළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

තවද 2023 වසරේ ගතවු කාලය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශ රැස්කළ බුද්ධි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුකළ වැටලීම්වලදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 138 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව කේරළ ගංජා කිලෝග්‍රෑම් 52කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 43 දෙනෙකු, ගංජා කිලෝග්‍රෑම් 24කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 21ක්, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යය සමඟ සැකකරුවන් 73 දෙනෙකුත් අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී මත්පැන් බෝතල් 78ක්, ලීටර් 50කට වැඩි ප්‍රමාණයක් සහ විදේශීය මත්පැන් බෝතල් 30ක් සමඟ සැකකරුවන් 04 දෙනෙකුත්, නීතිවිරෝධි දුම්වැටි කාර්ටූන් 19 ක් සමඟ සැකකරුවන් තිදෙනකෙුත් මත්පෙති සහ මදන මෝදක සමඟ සැකකරුවන් තිදෙනෙකුත් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලබාදුන් බුද්ධි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් විශාල වශයෙන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකර ඇත.