Saturday, October 26, 2024
Follow Us
නාරංගල කඳුවැටිය ආශ්‍රිත අභය භූමියක්

කඳු පන්තිය පිහිටි හෙක්ටයාර 239.276ක භූමි ප්‍රමාණය නාරංගල අභය භූමිය වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ.

එම භූමි ප්‍රදේශයට අයත් පෞද්ගලික හා ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වන භූමි ප්‍රදේශයන් රජයට අත්පත් කර ගැනීමටත් ඉන් අනතුරුව සම්පූර්ණ භූමි ප්‍රදේශය වන ජීවී ජාතික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම මෙහිදී සිදු වේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම්ව සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දික්පිටිය ග්‍රාම නිලධාරි වසමේ මුහුදු මට්ටමේ සිට මීටර 1,450කට වඩා උසින් යුත් ප්‍රදේශයක නාරංගල කඳු පන්තිය පිහිටා ඇත. එම කඳු පන්තිය ඉතාමත් වැදගත් ජලපෝෂක ප්‍රදේශයක් වන අතර එහි ජල උල්පත් 100කට අධික ප්‍රමාණයක් පවතී. විශේෂයෙන්ම කඳු පන්තිය ආශ්‍රිතව ගලා බසින ගම ඔය, මොරගොල්ල ඔය හා අඹ ගඟ ඔය නාරංගල කඳු පන්තිය ආශ්‍රිත ජල උල්පත් මඟින් පෝෂණය වේ. එම කඳු පන්තියට පහළින් පිහිටි ගම්මාන රාශියක ජල අවශ්‍යතාව එම ගංගා මඟින් සපුරාගනු ලබයි. එමෙන්ම එම කඳු පන්තිය ජෛව විවිධත්වයෙන් අනූන ප්‍රදේශයක් ද වේ.