Saturday, October 26, 2024
Follow Us
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අනිවාර්ය කරයි

මාර්තු 1 සිට හයිලෙවල් මාර්ගය ඇතුළු සියලුම මාර්ග වලින් ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කෙරේ.

හයිලෙවල් මාර්ගය හා අනෙකුත් මාර්ග ඔස්සේ ගමන් කරන සියලුම පුද්ගලික හා ලංගම බස් රථ කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කිරීමට ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව මේ වන විට අවිධිමත් ලෙස කොට්ටාව නගරයේ විවිධ ස්ථානවලින් මගින් බස් රථ වලට නංවා ගැනීම වළක්වාලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් සියළුම දුර ගමන් සේවා හා අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථ මාර්තු පළමු වැනි දින සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අදාළ පාර්ශ්වයන් වෙත උපදෙස් දී ඇත.

ඒ වෙනුවෙන් මේ වන විට අවිධිමත් ලෙස ස්ථාපිත කර ඇති බස් රථ නැවතුම් හා මගී ආවරණ ඉවත්කර, මගීන්ට අවශ්‍ය එම සියලුම පහසුකම් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළින් සැපයෙනු ඇති.
එතුලින් අනාරක්ෂිතව මාර්ගයේ විවිධ ස්ථානවලින් අවිධිමත් ලෙස මගීන් නංවා ගැනීම වැළකෙන අතර බහුවිධ ප්‍රවහන මධ්‍යස්ථානය වෙත පැමිණෙන මගීන්ට අවශ්‍ය වාහන නතර කිරීමේ පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් සහ අනෙකුත් සේවාවන් සපයා දීම සඳහා මේ වන විටත් පිහිටුවා ඇති පහසුකම් තවදුරටත් විධිමත් ව සිදුකිරීම සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය .

ජනතාවට වඩා විධිමත් සේවාවක් සැපයීම සඳහා මෙම සියලු ක්‍රියාමාර්ගයක් ගන්නා අතර ඒ සඳහා කිසියම් නීතිමය ගැටලුවක්‌ පවතී නම් අවශ්‍ය නීතිමය උපදෙස් ලබාගෙන නියමිත පරිදි කටයුතු කරන ලෙසත් ජනතාවගේ පහසුව වෙනුවෙන් විශාල මුදලක් වැය කර ස්ථාපිත කර ඇති බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළින් වඩාත් විධිමත් සේවාවක් සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මෙම තීරණවලට අනුගත නොවන පාර්ශවයෙන් සම්බන්ධව නීති ප්‍රකාරව අවශ්‍ය කටයුතු කිරීමට කිසිසේත් පසුබට නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.


ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මාර්තු පළවෙනිදා සිට මෙම මාර්ගය භාවිතා කරන සියලුම ලංගම බස් රථ අනිවාර්යෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීමටත් පෞද්ගලික අංශයේ බස් රථද ඒ වෙත යොමු කිරීමට අවශ්‍ය දැනුවත් කිරීම සඳහා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ආයතන වෙත උපදෙස් ලබා දෙන ලදී.