Saturday, October 26, 2024
Follow Us
විශ්වවිද්‍යාල ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහනට අයදුම්පත් භාර ගැනේ

ළමා ආරක්ෂාව පිළිබඳ විශ්වවිද්‍යාල ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහනට අයදුම්පත් භාර ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සමාජගත කිරීමේදී ළමා ආරක්ෂාව පිළිබඳ දැනුමින් පරිපූර්ණ උපාධිධාරියෙක් නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ළමා ආරක්ෂාව පිළිබඳ විශ්වවිද්‍යාල ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහනක් සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි ඕනෑම විශ්වවිද්‍යාලයක අභ්‍යන්තර උපාධි අපේක්ෂක දෙවන සහ තුන්වන වසර සිසුන්ට පමණක් මෙම ස්වේච්ඡා වැඩසටහන සඳහා ලියාපදිංචි විය හැක. මෙම වැඩසටහන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විශ්වවිද්‍යාල සමඟ ඒකාබද්ධ වෙමින් සිදුකිරීමට අපේක්ෂිතය.
තරුණ පරපුර ලෙස රටේ අනාගත ළමා පරපුර රැකගැනිමේ යුතුකම ඉටු කිරීමට මෙම වැඩසටහන තුළින් අවස්ථා උදාවේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි ඕනෑම විශ්වවිශ්වවිද්‍යාලයක අභ්‍යන්තර උපාධි අපේක්ෂක දෙවන වසර සහ තුන්වන වසර සිසුන්ට පමණක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති අයදුම්පත බාගතකර නිසියාකාරව පුරවා ලියාපදිංචි තැපෑලෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත යොමුකර මෙම ස්වේච්ජා වැඩසටහන සඳහා ලියාපදිංචිය ලබා ගත හැකිය. සෑම ශිෂ්‍යයෙක් සඳහාම ලියාපදිංචි අංකයක් නිකුත් කරනු ලබන අතර, ලියාපදිංචිය ලබා ගත් බවට ලිපියක් ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් නිකුත් කරනු ලැබේ.