Sunday, October 27, 2024
Follow Us
ඕමාන සුරක්ෂා නිවාසයන්හි සිටින කාන්තාවන් කඩිනමින් ගෙනවා ගැනීමට  පියවර

ඕමානයේ සුරක්ෂා නිවාසයන්හි රැඳී සිටින කාන්තාවන් 59 දෙනා මෙරටට ගෙන්වා ගැනීමේ නෛතික ගැටලු කිහිපයක් ඇති බවත්

, කාර්ය මණ්ඩල අඩුපාඩු ඇතත් එකී ගැටලු විසඳාගත් සැනෙන් ඔවුන්ව ලංකාවට එවීමට කටයුතු කරන බවත්, ඒ සඳහා ජනාධිපතිවරයාගේ ද අනුමැතිය ලැබී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

දැනට ක්‍රියාත්මක මිනිස් ජාවාරම මැඩලීමට ගත හැකි උපරිම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම සහ මෙරට පුහුණු වෘත්තිකයන් සඳහා ඕමානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් විවෘත කර ගැනීමේ මූලික අරමුණු ඇති ව ඕමානයේ සිව් දින නිල සංචාරයක නිරතව සිටින අමාත්‍යවරයා ඕමානයේ සුරක්ෂා නිවාසයේ රැඳී සිටින කාන්තාවන් හමුවී, ඔවුන්ගේ ගැටලු සොයා බැලීමෙන් අනතුරුව මේ බව පවසා ඇත.

"ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතා ම අඩු පහසුකම් යටතේ ක්‍රියාත්මක වෙන්නේ. තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ සහ සුරක්ෂා නිවාසයේ නිලධාරීන්ගේ වගේ ම භාෂා පරිවර්ථකයන්ගේත් පුරප්පාඩු තියෙනවා. නිලධාරී හිගය නිසා මේ පිරිසගේ නීතිමය කටයුතු ඉටුකිරීමේ දී ප්‍රශ්න ගොඩක් තියෙනවා.

රටේ තියෙන ආර්ථික ප්‍රශ්නයත් එක්ක මුදල් අමාත්‍යංශයෙන් කාර්ය මණ්ඩල සම්පූර්ණ කරන්න මෙතෙක් අනුමැතිය ලැබිලා නෑ. හැබැයි මේ කාන්තාවන් සෑහෙන දුකක් විදිනවා. ඒත් ඔවුන්ගේ නීතිමය ප්‍රශ්න විසදලා එවන්න තව කාලයක් ගත වෙනවා.

මේ පිරිසගේ ප්‍රශ්න හොයලා බැලුවාම සමහරු දැනුවත් ව වැරදි විදියට ඇවිත් තියෙනවා. සමහරු නොදැනුවත් ව ඇවිත් තියෙනවා. සමහරු වැරදි කරලා ඇවිත් තියෙනවා. සමහර අයට ඒ ගෙවල්වලින් යම් යම් මුදල් ප්‍රමාණයන් ගෙවන්න තියෙනවා. සමහරු සංචාරක වීසා මත ඇවිත් තියෙනවා.

ඒ නිසා මේ අය විවිධ විවිධ කාණ්ඩවලට ගන්න පුළුවන්. මේ අය විවිධ විවිධ කණ්ඩායම් ගතකරලා, මේ රටේ සේවා දායකයන්ට ගෙවන්න යම් මුදලක් තියෙනවා නම් ඒ සියල්ලත් ගෙවලා මේ අයව වහා ම ලංකාවට ගෙන්වා ගන්න ජනාධිපතිතුමා අවසරය දුන්නා. දැන් අපි ඒ සඳහා කටයුතු කරමින් ඉන්නවා.

එයට අවශ්‍ය දත්ත සහ සාක්ෂි ලබා ගැනීමට ඕමානයේ කම්කරු අමාත්‍යංශය හා ආගමන විගමන දෙපාර්තමේන්තුව සමග කටයුතු කළ යුතුයි. කාර්ය මණ්ඩලවල අඩුපාඩුව සම්පූර්ණ වූ වහා ම මේ පිරිස හැකි ඉක්මනින් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා.

එසේ ම මාධ්‍ය හරහා බොරු තොරතුරු වාර්තාකරණය ගැන මේ කාන්තාවන් ඉතා දැඩි කණස්සල්ලට පත්ව සිටිනවා. ඒ පිළිබදවත් අවධානය යොමුකළ යුතු ව තිබෙනවා. "