Sunday, October 27, 2024
Follow Us
යල් පැන ගිය ඇතැම් බන්ධනාගාර පනත් සංශෝධනයට

යල් පැන ගිය ඇතැම් බන්ධනාගාර පනත් ගැළපෙන පරිදි සංශෝධනයට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා  පැවසීය.

අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පාදුක්ක වටරැක බන්ධනාගාරයේ කටයුතු ඊයේ (08 නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එහි පැමිණ සිටි මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දෙමිනි.

මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවීම හේතුවෙන් පුනරුත්ථාපනය සදහා යොමු කර ඇති වයස අවුරුදු 16-22 ත් අතර තරුණයින්ගේ අධ්‍යාපන කටයුතු සදහා වටරැක බන්ධනාගාරය තුල ස්ථාපිත කර ඇති සුනීත විද්‍යාලයේ පහසුකම්, බන්ධනාගාර රෝහල හා බන්ධනාගාර වැඩ කදවුරේ කටයුතු ඇමතිවරයා නිරීක්ෂණය කළේය.

දැනට පවතින බන්ධනාගාර අණ පනත් 1939 වසරේ හඳුන්වා දුන් ඒවා බැවින් එම පනත් යාවත් කාලීන කරන ලෙස උපදෙස් ලබා දුන් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ පසුගියදා සම්මත කරන ලද නව පුනරුත්ථාපන පනත මගින් සිරකරුවන් හා මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් සම්බන්ධව පුර්ණ පරිවර්තනයක් සහිත වැඩපිළිවෙළක් දියත් කරන බවයි.

එහිදී මාධ්‍යවේදීන් යොමු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය කාල සීමාව තුළ ආර්ථික වශයෙන් විනාශ වු රට මේ වන විට යථා තත්වයට පත් වෙමින් ඇති අතර රට යළි ගොඩ නැංවීම සදහා සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවයි.