Sunday, October 27, 2024
Follow Us
විදුලිය ගැන මහජන උපයෝගීතා කොමිෂන් සභාව ජනතාගෙන් කළ ඉල්ලීම

උසස් පෙල විභාගයට පෙනී සිටින සිසු දරුවන් වෙනුවෙන් අඛණ්ඩව විදුලිය සැපයීම සදහා විදුලි පරිභෝජනය අඩුකර සහාය වන්නැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටී 

 උසස් පෙල විභාගය පැවත්වෙන කාලය තුල දී කප්පාදුවකින් තොරව විදුලිය සැපයේ. ඒ අනුව විභාගය පැවත්වෙන සෑම දිනකම විභාගය අවසන් වන පැයෙන් පසුව විදුලි විසන්ධි කිරීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී ඇත. විභාග පැවත්වෙන කාල සීමාව තුලදී සෑම දිනකම විභාගය අවසන් වු පසු සවස් කාලයේ හා රාත්‍රිකාලයේ දී  අවස්ථා දෙකකදි විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව විභාගය අවසන් වු පැයේ සිට සවස 6 දක්වා විනාඩි 40ක් ද සවස 6 සිට රාත්‍රි 10 දක්වා කාලය තුලදී පැයයි විනාඩි 20ක කාලයක විදුලි කප්පාදුවක් සදහා අවසර දී ඇත.

විභාග කාලය තුලදී අඛණ්ඩව විදුලිය සැපයීම සදහා ලංකා විදුලිබල මණ්ඩලයට කල නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් විභාග කාලය තුලදී පැය 24 පුරා විදුලිය ලබාදීමට නොහැකි වී ඇත. විභාගය පැවත්වෙන පෙබරවාරි 17 දක්වා රාත්‍රි කාලය තුලදී ද විදුලිය අඛණ්ඩව සැපයීම සදහා විදුලි ඉල්ලුම කළමනාකරණය කීරීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ආරම්භ කර ඇත. එම වැඩසටහන මගින් සවස 6ත් රාත්‍රි 10ත් අතර කාලයේ දී විදුලි ඉල්ලුම අඩුකර මෙගාවොට් 350ක පමණ ධාරිතාවයක් ඉතිරිකර ගැනීමට ඉලක්ක කෙරේ. එම විදුලි ධාරිතාවය ඉතිරි කරගැනීම මගින් විභාගය පැවත්වෙන පෙබරවාරි 17 දක්වා රාත්‍රි කාලය තුලදී ද විදුලිය අඛණ්ඩව සැපයීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙයි. පහත සදහන් ක්‍රියාමාර්ග ගෙන විදුලි ඉල්ලුම අඩුකර විභාගයට පෙනී සිටින සිසුන්ට බාධාවකින් තොරව විභාගයට පෙනී සීටීම සදහා කැපකීරීමක් කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාව, රාජ්‍ය ආයතන හා පුද්ගලික අංශයෙන් ඉල්ලා සිටී.

1. ගෘහස්ත අංශය-සියලු පාරිබෝගිකයින්ට සවස 6ත් රාත්‍රි 9ත් අතර කාලයේදී සිය ඉල්ලුම සියයට 50කින් අඩුකර විදුලි ඉල්ලුම කළමණාකරණයට සහාය විය හැකි ය.

2. පුද්ගලික ආයතන-සවස 6ත් රාත්‍රි 10ත් අතර කාලයේදී සිය  ප්‍රදර්ශන පුවරු (බිල් බෝඩ්ස්) හා නාම පුවරු හා ප්‍රදර්ශනාගාර වල විදුලි පහන් නිවා දමා සහාය විය හැකිය.

3. පළාත් පාලන ආයතන ඇතුළු වීථි ලාම්පු කළමනාකාරණය කරන ආයතන විසින් සව 6ත් රාත්‍රි 10ක් අතර කාලයේදී වීථි ලාම්පු නිවා දැමීම

4. ජෙනරේටර් හා බැටරි සතු විදුලි පාරිබෝගිකයින් විසින් සවස 7ත් රාත්‍රි 10ත් අතර කාලයේදී ජෙනරේටර් හා බැටරි වලින් විදුලිය සපයා ගැනීම

ඉහත සිව් වැදෑරුම් විදුලි සංරක්ෂණ වැඩසටහනට දායක වී විදුලිය පරිබෝජනය අඩු කළහොත් විභාගය පැවත්වෙන පෙබරවාරි 17 වැනිදා දක්වා රාත්‍රිකාලයේදී ද විදුලිය සැපයීමට හැකිවන පරිද්දෙන් මෙගාවොට් 350ක පමණ ධාරිතාවයක් ඉතිරිකර ගත හැකි වනු ඇත. සිය දු දරුවන්ගේ අනාගතය තීරණය කරන උසස් පෙල කඩයිම් විභාගය සාර්ථකව පැවත්වීමට හා අපේක්ෂකයින්ට ඊට සාර්ථකව මුහුණු දීම සදහා සියලු විදුලි පාරිබෝගිකයින්ට කැප වන්නැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඉල්ලා සිටී.