Sunday, October 27, 2024
Follow Us
වී වගාව පරීක්ෂාවට විශේෂ කණ්ඩායමක් අද තිස්ස, ලුණුගම්වෙහෙර යයි

තිස්ස ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ වගා කරන ලද කුඹුරු අක්කර 25,000ක් ආශ්‍රිතව නෙමටෝඩා හා ගොයම් කහ වීම පවතින බවට අද (23) ප්‍රධාන පුවත්පතක් විසින් වාර්තා කර තිබිණි.

එම ප්‍රවෘත්තියේ දක්වා තිබුනේ කුඹුරු අක්කර 11,000ක් නෙමටෝඩා නිසා විනාශව ඇති බවත්, තවත් අක්කර 14,000ක වී වගාව අත්හැර දමන ලෙස බතලගොඩ වී පර්යේෂණායතනයේ නිලධාරින් කණ්ඩායමක් උපදෙස් දුන් බවයි.

මේ සම්බන්ධව අවධානය යොමු කළ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ පිළිබඳව බතලගොඩ වී පර්යේෂණායතනයෙන් කරුණු විමසීමක් කළේය.


බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා ලුනුගම්වෙහෙර වී වගාවන් සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා මෙතෙක් කිසිදු නිලධාරියෙක් හෝ කණ්ඩායමක් තමන් යොමු නොකළ බවත්, එමෙන්ම කිසිදු අවස්ථාවක වී වගාව අත් හරින ලෙස උපදෙස් ලබා දීමක් තම ආයතනය හෝ නිලධාරින් විසින් ලබා දී නැති බව අවධාරණය කළේය. එමෙන්ම කවර රෝග තත්ත්වයක් වාර්තා වුවත් එය පාලනයට පියවර ගැනීම මිස කිසිදු විටෙක වගාව අත්හැරීමට තම ආයතනය උපදෙස් නොදෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වී වගාව ආශ්‍රිතව යම් යම් රෝග තත්ත්වයන් වාර්තා වන විට ඒ සඳහා නිලධාරි කණ්ඩායම් යවා පර්යේෂණ සිදු කරන්නේ තම උපදෙස් මත බවත්, එහෙත් තිස්ස, ලුණුගම්වෙහෙර ආශ්‍රිතව කිසිදු ස්ථානයකට තමන් ගේ අනුදැනුම මත මෙතෙක් නිලධාරින් කණ්ඩායමක් යවා නැති බවත් ඒ මහතා අවධාරණය කළේය.

කෙසේ වුවද මෙම තිස්ස, ලුණුගම්වෙහෙර ව්‍යාපාරයේ හානි වී ඇති බවට අදාළ පුවත්පත විසින් වාර්තා කර තිබෙන කුඹුරු පරීක්ෂාව සඳහා අද (23) අම්බලන්තොට වී අභිජනන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා හර්ෂනී උමා සිරිවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් පිටත් කර හරින බවත්, එම නිලධාරින් විසින් සිදු කරන විමර්ශනවලින් අනතුරුව වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දීමට පියවර ගන්නා බවත් ආචාර්ය සේනානායක මහතා පැවසීය.