Sunday, October 27, 2024
Follow Us
තාරුණ්‍යය වෙනුවෙන් ගෙන ගිය දූරදර්ශී වැඩපිළිවෙළෙහි තවත් පියවරක්

ජාතික යොවුන් සේනාංකය, හැකියාවෙන් හා පෞරුෂත්වයෙන් පිරි තරුණ පරපුරක් බිහිකිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස සිටියදී ගෙන ගිය දූරදර්ශී වැඩපිළිවෙළක එක් කොටසක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ජාතික නායකයන් බිහි කිරීම වෙනුවෙන් ජාතික යොවුන් සේනාංකය ගෙන යන වැඩපිළිවෙළ ප්‍රශංසනීය බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (17) පැවති ජාතික යොවුන් සේනාංකයේ වාර්ෂික කලා මංගල්‍යය සහ සම්මාන උළෙල “ පෞර්ෂාභිමාන- 2022” අමතමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා,

ජාතියේ අනාගතය වෙනුවෙන් යොවුන් සේනාංකය බිහි වී දශක තුනකට ආසන්න කාලයක් ගෙවී තිබෙනවා. තරුණ තරුණියන්ට මේ අවකාශය ලබා දීමට වත්මන් ජනාධිපතිතුමා, තරුණ සේවා ඇමැතිවරයා ලෙස එවකට විශාල වැඩ කොටසක් සිදු කළා. පාසල් ජීවිතයෙන් පසුව විශ්විද්‍යාලවලට නොයන තරුණ පරපුරට මඟ පෙන්වීමට තරුණ සේවා සභාව විශාල කාර්යභාරයක් සිදුකරන බව පැහැදිලියි. ඒ සඳහා යොවුන් සේනාංකයෙන් විශාල වගකීමක් ඉටු කරන බව අපි දන්නවා. යොවුන් සේනාංකය රටට එක්කර තිබෙන විශාලම දායාදය තාරුණ්‍යයේ එකමුතු බවයි. ඉදිරියේදී රට ගොඩනැඟීමට තිබෙන අභියෝගයට යොවුන් සේනාංක වැනි සංවිධාන වලින් විශාලම දායකත්වයක් ලබා ගත හැකියි. තරුණ තරුණියන්ගේ හැකියාවන්වලට උදව් දෙන සියලුම පහසුකම් යොවුන් සේනාංකයට තිබෙනවා. අපේ තරුණ තරුණියන්ගේ නිපුණත්වය ඔපමට්ටම් කරමින් අනාගතය භාර ගැනීමට හැකි පුරවැසියන් බිහි කිරීමට මෙමගින් හැකියාව ලැබෙනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා.

චන්න ගුණතිලක මහතා සහ මම මේ වැඩ කටයුතු ආරම්භ කරන විට අපට ජාතික යොවුන් සේනාංකයක් තිබුණේ නෑ. මූලික වගකීම වුණේ අද ජනාධිපතිතුමා, එවකට අපේ අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පය ක්‍රියාවට නැංවීමට අවශ්‍ය පියවර ගැනීමයි.

එහි මූලික අවශ්‍යතාව වුණේ මනා පෞර්ෂත්වයකින් යුත් , කාලයට ගැළපෙන දක්ෂතාවයන්ගෙන් හෙබි, හොඳ නායකත්වයක් දිය හැකි, අනාගත අභියෝග ජයගත හැකි , රැකියා වෙළෙඳපොළට සූදානම්, ගැළපෙන නියම ආකල්පවලින් පිරිපුන් තරුණ පරම්පරාවක් ගොඩ නැඟීමයි.

මේ වන විට වසර 20ක පමණ කාලයක් තුළ මේ වැඩසටහන දියුණු වෙලා තියෙනවා. තවමත් දේශපාලනීකරණය වීමෙන් තොරව වැඩකටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳව සතුටුයි. අපේ රටට වැදගත්ම දේ තරුණයින්ගේ අනාගතයයි. අද ඒ ඇගයීමට ලක් වූ සියලුම දූ දරුවන්ට මගේ සුබ පැතුම් පිරිනමනවා.

ඒ වගේම ඔවුන් පුහුණු කිරීමට, වැඩසටහන් සම්පාදනයට ඇප කැප වූ මෙන්ම ඊට නායකත්වය දුන් සියලු දෙනාට මගේ සුබ පැතුම් පිරිනමනවා. අද මෙතැන දකින්න ලැබුණේ කලා අංග පමණයි. ඒ සියල්ල අති විශිෂ්ටයි. අනෙක් වැඩසටහන්වල විශිෂ්ඨත්වයත් මට හිතා ගන්න පුළුවන්. මොකද කලා අංග පුහුණු වෙන්නේ අනෙක් වැඩකටයුතු කරන අතරතුර බව මට සභාපතිවරයා දැනුම් දුන්නා.

ජාතික තරුණ සේවා සභාව මීට වෙනස්. කලා අංශයට ගියොත් පුහුණු වෙන්නේ කලා කටයුතු පමණයි. මෙතැන ඉදිරිපත් වූ කලා අංග පුහුණ වෙන්නේ වෙනත් වෘත්තියකට සූදානම් වන අතරතුරයි.

කෙසේ වුවත් අපි තව දුරටත් යාවත්කාලීන විය යුතුයි. ලෝකයට මුහුණ දීමට අප සූදානම් විය යුතුයි. කාර්මික විප්ලවයේ තුන්වැනි අදියරේ සිට හතරවැනි අදියරට රට ගමන් කරනවා. තොරතුරු තාක්ෂණයේ සිට කෘත්‍රිම දැනුම දක්වා ගමන් කරනවා. ඒ වගේම සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය වූ ලෝකයකට අප ඇතුළු වෙනවා. ඒ සඳහාත් අප සූදානම් විය යුතුයි.

එයින් අදහස් කරන්නේ දැන් තිබෙන සියලු දේ නැති වෙනවා කියන එක නෙවෙයි. නමුත් අලුත් දේවල්වලට මුහුණ ‍දීමට අප සූදානම් විය යුතු වෙනවා. යම් අංශවලින් රැකියා නැති වේවි. ඒ වගේම තවත් අංශවලින් රැකියා ඇති වේවි. ඒ රැකියා අපට පුරුදු රැකියාවලට වඩා ඉහළ මට්ටමේ ඒවා විය හැකියි. ඒ වගේම මේ සමඟ මුහුණ දීමට සිදුවන අවදානමත් තිබෙනවා.

අද තරුණ පරම්පරාව දෙස බැලුවොත් ‍දුරකතනයෙන් එහාට ජීවිතයක් නැතිව තිබෙනවා. එතන අවදානමත් තිබෙනවා. ඒවාටත් ගොදුරු නොවී ඒ විප්ලවයෙන් අපි ජය ගන්නේ කොහොමද ? අපි අනාගතයට සන්නද්ධ වන්නේ කෙහොමද? ඒ වගේම මේ රට ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවට පත් කරන්නේ කොහොමද කියන ඉලක්කය අනුව තමයි අපි ඉදිරියට යා යුත්තේ. යොවුන් සේනාංකය ඊට සුදුසුම ස්ථානයයි.

ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ, කපිල නුවන් අතුකෝරල , ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශන රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.