Sunday, October 27, 2024
Follow Us
ආදි වාසී නායකයෝ පාර්ලිමේන්තුවට

නිදහසේ 75 වන සමරුවට සහභාගි වන ලෙස, ජනාධිපතිවරයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ආරාධනය පිළිගනිමින් රට පුරා සිටින සියලු ආදිවාසී නායකයන් සමඟ එම ජාතික උත්සවයට සහභාගි වන බව, ආදිවාසී නායක, ඌරුවරිගයේ වන්නියල ඇත්තෝ පවසා තිබේ.


ඔහු මේ බව කියා සිටියේ ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා හමුවෙමිනි.


මෙම සාකච්ඡාව සඳහා, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ, රතුගල ප්‍රාදේශීය නායක දානිගල බණ්ඩලාගේ සුදු බණ්ඩා, පොල්ලබැද්ද ප්‍රාදේශීය නායක තලා බණ්ඩලාගේ ගුණවර්ධන, හෙනානිගල ප්‍රාදේශීය නායක තලා වරිගයේ ගුණා බණ්ඩියා, වාකරේ ප්‍රාදේශීය නායක නල්ලතම්බි වේලායුදන්, මූතූර් ප්‍රාදේශීය නායක නාගරත්නම් වර්ධන්, එන්. කනකරත්නම්, ඒ.ශ්‍රී සෙල්වම් යන ආදිවාසී නායකයෝ සහ සාමාජිකයෝ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණ සිටියහ.


ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත යන මහත්වරු මෙන්ම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය(CPA) නියෝජනය කරමින් ලයනල් ගුරුගේ, ලලින්ද වික්‍රමරත්න, එම්. ප්‍රදීපන් යන මහත්තුරු ද මීට එක්වූහ.


ඌව, නැගෙනහිර උතුරු මැද සහ අනෙකුත් පළාත්වල ජීවත් වන ආදිවාසී කණ්ඩායම් හමු වී ඔවුන් මුහුණ දෙන විවිධ ප්‍රශ්න ගැටලු හඳුනාගෙන ඒවා මූලික කර ගනිමින්, CPA සකස් කළ ප්‍රතිපත්ති ලේඛනයක් මෙහි දී අග්‍රාමාත්‍යවරයා වෙත භාර දුන්නේය.


ප්‍රාදේශීය වශයෙන් විවිධ ගැටලුවලට මුහුණ දී සිටින ආදිවාසී ප්‍රජාවගේ අයිතීන් ආරක්ෂා වන ආකාරයේ නව නීති සම්පාදනය සඳහා පනතක් සම්මත කිරීමට පාර්ලිමේන්තුව මැදිහත් වීම කාලීන අවශ්‍යතාවක් බව, මෙහි දී වන්නියල ඇත්තො සඳහන් කළේය.


එසේ ම ආදිවාසී කාන්තාවන් මුහුණ පා තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව ද මෙහි දී සාකච්ඡා විය.


ආදිවාසී ජනයා ප්‍රාදේශීය වශයෙන් මුහුණ දෙන ගැටලු විස‍ඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සුදුසු පියවර සොයා බලන ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහි දී රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාට උපදෙස් ලබාදුන්නේය.


පාර්ලිමේන්තුවේ කමිටු හරහා ගතහැකි ක්‍රියාමාර්ග ගැන සොයා බලන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.