Sunday, October 27, 2024
Follow Us
පියයුරු පිළිකාව ගැන දැනුවත් වීමට නව වෙබ් අඩවියක්

පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් වීම සඳහා ම නව වෙබ් අඩවියක් හඳුන්වා දීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

ජාතික පිළිකා මර්දන වැඩසටහන , සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව breastcancerdetect.health.gov.lk නමින් මෙම වෙබ් අඩවිය හඳුන්වා දී ඇත.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරිණි.

පිළිකාව පිළිබඳ දැනුවත් වීම, පරීක්ෂාවන් සඳහා දිනයක් වේලාවක් මාර්ගගත ක්‍රමය ඔස්සේ වෙන් කර ගැනීම මෙමගින් සිදු කරගත හැක. ජාතික පිළිකා මර්දන වැඩසටහනේ පස් අවුරුදු සැලැස්ම ඔස්සේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙයි. 2019 දී මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 4447 ක් වාර්තා වූ අතර එය 2020 වන විට 5000 ඉක්මවා තිබේ. 2019 දී වාර්තා වූ රෝගීන්ගෙන් 60% ක් එයට පෙර හඳුනා ගැනුණු පළමු හා දෙවන මට්ටමේ රෝගීන්ය.

2020 වන විට ඇස්තමේන්තුගත වාර්තා අනුව කාන්තාවන් ලක්ෂයකට 27 දෙනෙකු මෙරටින් පියයුරු පිළිකා රෝගීන් ලෙස හඳුනාගෙන ඇති අතර ඉන් ලක්ෂයකට 11 දෙනෙකු මිය යන මට්ටමක් වාර්තාවේ. ඉන් වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 45 - 50 ඉක්මවූ කාන්තාවන් වේ.

පියයුරු පිළිකාව කලින් හඳුනා ගතහොත් ශල්‍යකර්ම ඖෂධ භාවිතය විකිරණ ක්‍රමවේද මඟින් නිට්ටාවටම සුවකර ගත හැකි බව මෙම අවස්ථාවට එක්වූ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඊෂානි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

පියයුරු ආශ්‍රිත සම ඝනවීම ,සම මතුපිට වල ගැසීම, තනපුඩුව මත කුෂ්ඨ ඇති වීම, තන පුඩුවෙන් අසාමාන්‍ය දියරයක් ගැලීම, තනපුඩුව ඇතුළට ගිලීම, තද ගැටිති, පියයුරු වල ප්‍රමාණය හා හැඩය වෙනස් වීම වැනි රෝග ලක්ෂණ ඇත්නම් එම වෙබ් අඩවිය මගින් ලියාපදිංචි වී දිනයක් වේලාවක් වෙන් කරගෙන හෝ පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයකට හෝ රජයේ වෛද්‍යවරයෙකු වෙත යොමු වීමෙන් මේ සඳහා ප්‍රතිකාර ලබාගත හැකි බවද ඇය පෙන්වා දුන්නාය.

පිළිකා කලින් හඳුනා ගැනීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වන නාරාහේන්පිට ජාතික පිළිකා මර්දන කාර්යාලය ට අමතරව රත්නපුර , මාතර සහ යාපනය යන දිස්ත්‍රික්කවලද එවැනි මධ්‍යස්ථාන ක්‍රියාත්මක අතර එයට අමතරව දිවයිනේ ප්‍රධාන රෝහල් 24ක පියයුරු පිළිකා සායන පැවැත්වේ .