Sunday, October 27, 2024
Follow Us
වතු කම්කරු පැමිණිලි කඩිනම් කිරීමට කම්කරු සහ විදේශ රැකියා ඇමැතිගෙන් උපදෙස්

වතු කම්කරු ක්ෂේත්‍රයට අදාළ නීති රීති වඩාත් කාර්යක්ෂම සහ සක්‍රීය ලෙස ක්‍රියාත්මක කරන ලෙසත්, වතුකම්කරුවන්ගෙන් ඉදිරිපත්වන පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාකර ඒවා විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

වතු කම්කරුවන් ලංකාවට පැමිණ වසර 200ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඉදිරියේ දී ක්‍රියාවට නංවන වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වතු වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවති රැස්වීමේ අමාත්‍යවරයා මෙම උපදෙස් දී තිබේ.

එක් කම්කරු නීතියක් සැකසීමේ කටයුත්තේ දී වතු කම්කරුවන්ට බලපාන කරුණු සම්බන්ධයෙන් වෙන වෙනම විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද ඒ් මහතා අවධාරණය කළේය.
එසේම, වතු කම්කරුවන්ට අදාළ ප්‍රශ්න සොයා බැලීමේ විශේෂ වැටලීම් අංශයක් පිහිටුවීමට උපදෙස් ලබා දුන් අමාත්‍යරවයා වතු කම්කරුවන්ගේ ප්‍රශ්නවලට අදාළව ඔවුන්ට ලිපි යැවීමේ දී අනිවාර්යයෙන්ම දෙමළ භාෂවෙන් එම ලිපි යැවීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

මෙහිදී වතු වෘත්තීය සමිතිවලින් ද ඉල්ලීම් රැසක් ඉදිරිපත්වූ අතර ඒවා විසඳීම සම්බන්ධයෙන් ද අවශ්‍ය උපදෙස් ලබා දුන් අතර විශේෂයෙන් ම සේවයේ යෙදී සිටින විට වතු කම්කරුවන්ට අවශ්‍ය විවේකාගාර, වැසිකිළි කැසිකිළි ඇතුළු සුබ සාධන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගේ විශේෂ අවධානයක් යොමු විය.