Sunday, October 27, 2024
Follow Us
නුවරඑළියේ රෝහල් 46ක් ආහාර ගැටලුවක

මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේවා කාර්යාලය යටතේ තිබෙන මූලික රෝහල් සහ ප්‍රාදේශීය රෝහල් 46 කට දිනපතා ආහාර ද්‍රව්‍ය ලබාදෙන කොන්ත්‍රාත්කරුවන්ට මාස දෙකක පමණ කාලයක් මුදල් ලබා නොදීම හේතුවෙන් තවදුරටත් එම රෝහල්වලට ආහාර ද්‍රව්‍ය සැපයීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි කොන්ත්‍රාත්කරුවෝ පවසති.

රෝහල් පරිපාලනය විසින් කොන්ත්‍රාත්කරුට දෛනිකව ලබාදෙන ආහාර ද්‍රව්‍ය ලැයිස්තුවක් අනුව එම රෝහල්වලට අදාළ ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරදෙනු ලබයි.

 

එම කොන්ත්‍රාත්කරුවන් කියා සිටින්නේ ණය පදනම මත තමන් වෙළෙඳසැල්වලින් ආහාර ද්‍රව්‍ය මිල දී ගෙන අදාළ රෝහල්වලට ආහාර ද්‍රව්‍ය නිකුත් කරන බවත්, මාස දෙකක් තිස්සේ මුදල් නොලැබීම නිසා එම වෙළෙඳසැල්වලට හා තම සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත්ය.

 

අප මේ සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිශ්ශංක විජේවර්ධනගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ වසර අවසාන භාගය නිසා මුදල් ලැබීමේ ප්‍රමාදයක් පවතින බවත්, දැනට ලැබී ඇති මුදල් ප්‍රමුඛතා ලැයිස්තුව මත ගෙවීමට මේ වන විට පියවර ගෙන ඇති බවත්ය.

 

මේ වසර අවසානයට ප්‍රථම රෝහල්වලට ආහාර ද්‍රව්‍ය සපයන කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීමට පියවර ගන්නා බවද නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

 

Aruna