Sunday, October 27, 2024
Follow Us
දිනේෂ්ගේ ඝාතනයට බිරියගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ගනියි!

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසාන භුමිය වෙත ගෙන්වා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරියගේ දුරකතනය ඇතුළු පුද්ගලයන් හතරදෙනකුගේ දුරකතන විශ්ලේෂණ වාර්තා වහා බොරැල්ල පොලිසිය වෙත ලබා දෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඊයේ (20) දුරකතන සමාගම් කිහිපයකට නියෝග නිකුත් කළේය.

අධිකරණය වෙත මෝසමක් ගොනු කරමින් බොරැල්ල පොලිසිය මේ සිද්ධියේ ඝාතකයා සම්බන්ධ කරුණු අනාවරණය කර ගැනීමට විමර්ශන පවත්වන බවත් අදාළ විමර්ශන සඳහා මේ අයවලුන්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා අවශ්‍යව ඇති හෙයින් අදාළ විශ්ලේෂණ වාර්තා කැඳවීමට අධිකරණ නියෝගයක් දෙන ලෙසට ඉල්ලා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිය වන ටානියා ෂාෆ්ටර් යන අයගෙන් පැය තුනකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශ ගෙන තිබිණි.

මේ අනුව ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිය වන ටානි ෂාෆ්ටර්, සමාගම් අධ්‍යක්ෂවරයකු වන ක්‍රිස් පෙරේරා, කාර්යාල කාර්ය සහායකයකු හා පොදු සුසාන භූමියේ කම්කරුවකුගේ දුරකතන විශ්ලේෂණ වාර්තා මෙසේ අධිකරණය මඟින් කැඳවා තිබිණි.

ඔවුන්ගේ දුරකතනයන්හි දෙසැම්බර් 1 වැනි දින සිට දෙසැම්බර් 16 වැනි කාලවකවානුව සඳහා ලබාගත්, ලැබුණු ඇමතුම් සම්බන්ධයෙන් මෙසේ දුරකතන විශ්ලේෂණ වාර්තා කැඳවා ඇත.

ඉකුත් 15 වැනි දින ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ 7 මල් පාරේ සිය නිවෙසේ සිට බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ගෙන්වා මොටර් රථය තුළදී වයරයකින් ගෙල සිර කර මෙසේ ඝාතනය කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් මුල් අවස්ථාවේ ලද තොරතුරු අනුව ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරයකු වන බ්‍රයන් තෝමස් මහතාගේ දුරකතන විශ්ලේෂණ වාර්තා අධිකරණය මඟින් කැඳවා තිබිණි.

පසුව බොරැල්ල පොලිසියේ ඉල්ලීමකට අනුව බ්‍රයන් තෝමස් මහතාගේද විදේශ ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කෙරිණි.

LNW