Sunday, October 27, 2024
Follow Us
වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළට

බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනවා තිබූ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කිරීමෙන් පසු වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළගොස් තිබේ.

පසුගිය අගෝස්තු මාසයේදී පාරිභෝගික අධිකාරිය විසින් සුදු බිත්තරයක් සඳහා රුපියල් 43ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 45ක මිලක් නියම කර තිබුණි.

 

අදාළ ගැසට් නිවේදනය පෙබරවාරි 06 වැනිදා දක්වා අත්හිටුවීමට අභියාචනාධිකරණය ඊයේ (15) තීරණය කිරීමත් සමග එතෙක් රුපියල් 50ට අලෙවි වූ බිත්තර මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

 

බිත්තර සඳහා උපරිම මිල නියම කිරීමේ අවස්ථාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට තාවකාලිකව අහිමිවීමෙන් පසු නිෂ්පාදකයින් විසින් ඔවුන්ට අවශ්‍ය පරිදි මිල ගණන් තීරණය කර ඇත.

 

සත්ත්ව ආහාර මිල ගණන් වෙළෙඳපොළේ සීඝ්‍රයෙන් පහත බැස තිබුණ ද හිතුමතේ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් "අද දෙරණ" සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයෙන් විමසීමක් කළේය.

 

එහි සභාපති ආර්.එම් සරත් රත්නායක මහතා පැවසුවේ සත්ත්ව ආහාර මිල පහළ ගිය ද වැඩිපුර කුකුළු පැටවුන් මිලදී ගැනීමට සහ නඩත්තුවට අවශ්‍ය ආදායම් උපයා ගැනීම සඳහා බිත්තර මිල වැඩිකළ යුතු බවය.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ මහතා පැවසුවේ බිත්තර නිෂ්පාදකයින්ගේ අසාධාරණ මිල ඉහළ නැංවීමට එරෙහිව පාරිභෝගිකයින් කෙටි කාලයක් බිත්තර මිලදී ගැනීමෙන් වැළකී සිටිය යුතු බවය.

 

මේ අතර රුපියල් 10ත් 20ත් අතර අගයක පැවති බිත්තර මිල මාස කිහිපයක් තුළ රුපියල් 50 සීමාව ඉක්මවා අලෙවි කිරීම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත බිත්තර ආහාරයට ගතයුතු තැනැත්තන්ට මෙන්ම දරුවන්ට පෝෂණ අවශ්‍යතා සපුරා ගත නොහැකි බව ජනතාව පවසයි.

 

එසේම මෙරට ඉහළ ගොස් ඇති මන්දපෝෂණයෙන් දරුවන් මුදාගැනීම සඳහා ප්‍රෝටීන අධික ආහාරයක් වන බිත්තර දරුවන්ට ලබාදීම අත්‍යාවශ්‍ය බව වෛදවරුන් ද මේ වනවිට නිර්දේශ කර තිබේ.

 

Aruna