Sunday, October 27, 2024
Follow Us
වසර 36 ක් ගියත් ශ්‍රී ලංකාවට තවමත් ජාතික පුෂ්පය සොයා ගැනීමට බැරිවෙයි

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල් මලද? නිල්මානෙල් මලද? යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ, නිවැරදි ජාතික පුෂ්පය තීරණය කර ගැනීම සඳහායි.

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක් ද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාරක සභාවේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

එහිදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දීප්ති යකන්දාවල සහ වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල යකන්දාවල පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක් ද යන්න, වසර ගණනාවක් තිස්සේ නොවිසඳුනු හා මතභේදයට තුඩු දී තිබු මෙතෙක් නොවිසඳුනු ගැටලුවක් බවයි.

1986 පෙබරවාරි 26 සිට ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් බවට නිල වශයෙන් කැබිනට් පත්‍රිකාවක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහෙත් එහි නිල් මානෙල් මල පිළිබිඹු කිරීමට භාවිත කර ඇත්තේ දම් පැහැති මානෙල් මලක ඡායාරූපයක් වන අතර එය සැබෑ නිල් මානෙල් මල නොවන බවයි මහාචාර්යවරයා පවසා ඇත්තේ.

ඒ අනුව 2015දී ජාතික පුෂ්පයේ නිවැරදි ඡායාරූපයක් ඇතුළත් කර තිබුණද එහි සිංහල නාමය ලෙස ප්‍රකාශයට පත් කර තිබුණේ මානෙල් මල ලෙසයි. එහෙත් ඉංග්‍රීසි නාමය බ්ලූ වෝටර් ලිලී ලෙස ප්‍රකාශයට පත් කර තිබුණා.

මෙහිදී පරිසර අමාත්‍යංශය පෙන්වා දී තිබුණේ නිල් මානෙල් නාමය, මානෙල් ලෙස වෙනස් වීමට හේතු වූයේ ඒ පිළිබඳ සිංහල භාෂා ප්‍රවීණයෙකු වන මහාචාර්ය විමල් ජී. බලගල්ලේගේ මතය අනුව බවයි. එහිදී ඔහුගේ මතය වී ඇත්තේ මානෙල් යන්නෙහි අර්ථය වන්නේ උතුම් වූ නිල් පුෂ්පය බැවින් ජාතික පුෂ්පයේ සිංහල නාමය මානෙල් ලෙස යෙදීම සුදුසු බවටයි.

එහෙත් ගෝලීයව පිළිගත් ශාක වර්ගීකරණය පිළිබඳ සම්මතයන්ට අනුව, විද්‍යාත්මක නාමය වෙනස් කිරීමට යටත් විය හැකි නමුත් ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන පොදු ජන වහරේ භාවිතා වූ පොදු නම් වෙනස් නොකළ යුතු බව මහාචාර්යවරුන් පසුව පෙන්වා දී තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දීප්ති යකන්දාවල සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල යකන්දාවල පෙන්වා දී ඇත්තේ මානෙල් යනු පොදු නාමයක් බවත් ශ්‍රී ලංකාව තුළ දම් මානෙල්, සුදු මානෙල්, නිල් මානෙල් ආදී මානෙල් වර්ග රාශියක් පවතින හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් ලෙස නිවැරදී වියයුතු බවයි.

එමෙන්ම පෙළ පොත්වල ඇත්තේ ද වැරදි මලක රූපයක් බවත් පාසල්වල පමණක් නොව ඇතැම් උසස් අධ්‍යාපන ආයතනවල ද උගන්වන්නේ වැරදි මලක රුව පෙන්වමින් බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දීප්ති යකන්දාවල පෙන්වා දී තිබෙනවා.

Neth