Sunday, October 27, 2024
Follow Us
60 පැන්න දොස්තරලා ගැන තීරණයක්

අමාත්‍ය මණ්ඩල විසින් ගනු ලැබූ තීරණයකට අනුව රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම සඳහා ගෙන ඇති තීරණය "විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන්" සම්බන්ධයෙන් පමණක් ජනවාරි මස 25 වැනිදා තෙක් ක්‍රියාත්මක නොකරන ලෙස දන්වමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (14වැනිදා) අතුරු නියෝගයක් නිකුත් කරන ලදී.

දිවයින පුරා රජයේ රෝහල්වල සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරු 176 දෙනෙකු විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොලගෙන් සමන්විත අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළහ.

 

මෙම පෙත්සම ඊයේ සලකා බැලූ අවස්ථාවේ දී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මූලික විරෝධතාවක් මතු කරමින් මෙම නඩුකරයට පාදක වන කරුණ රාජ්‍ය සේවා කොමිසම විසින් ක්‍රියාත්මක කරන තීරණයක් බැවින් ඒ පිළිබඳ විභාගයක් පැවැත්වීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව සඳහන් කර සිටියේය.

 

කෙසේ වෙතත් මෙම පෙත්සමට අදාළ වැඩිදුර කරුණු සලකා බැලීම ජනවාරි මස 24 වැනිදා තෙක් කල් තැබූ අභියාචනාධිකරණය අදාළ අතුරු නියෝගය ජනවාරි මස 25 දා තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත් කළේය.

 

පෙත්සම්කාර විශේෂඥ වෛද්‍යවරු අධිකරණය හමුවේ සඳහන් කර සිටින්නේ විශේෂඥ වෛද්‍යවරු වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඉකුත් ඔක්තෝබර් මස 17 වැනිදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇති බවයි. මෙය අත්තනෝමතික මෙන්ම අසාධාරණ තීන්දුවක් යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් විශේෂඥ වෛද්‍යවරුන්ට අවම වශයෙන් අවුරුදු 63 දක්වා සිය සේවය කිරීමට අවස්ථාව තිබිය යුතු බවත් සඳහන් කර තිබේ.

 

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ එම අත්තනෝමතික තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර විශේෂඥ වෛද්‍යවරු අධිකරණයෙන් ඉල්ලා සිටිති.

Aruna