Sunday, October 27, 2024
Follow Us
වී මිල යළි ඉහළට

සහල් ආනයනය නතර කිරීමට රජය තීරණය කිරීමත් සමග මෙතෙක් පහත වැටී තිබූ වී මිල ඊයේ සිට (14) යළි ඉහළ දැමීමට මෝල් හිමියන් කටයුතු කර ඇත.

කිලෝ ග්‍රෑම් හැට හතරක (64) වී මිටියක් පසුගිය සතිය වන විට රුපියල් හයදහසක් දක්වා (වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 95) පහත දමා තිබුණි.

 

සහල් ආනයනය තහනම් කරමින් ගැසට් නි​වේදනය නිකුත් කිරීමත් සමග වී කිලෝ ග්‍රෑමයක ගැනුම් මිල රුපියල් පහකින් පමණ ඉහළ දමා ඇත. ඒ අනුව කිලෝ ග්‍රෑම් හැටහතරක වී මිටියක් රුපියල් හයදහස් හාරසියයක මිලකට (6400) මෝල් හිමියන් මිලදී ගැනීම ආරම්භ කර තිබේ. පසුගිය වසරේ මහා කන්නයේ සහ යල කන්නයේ වී තොග ගොවීන් සතුව පවතින අතර වී මිල සීග්‍රයෙන් පහත බැසීම නිසා ගොවින් වී අලෙවි කිරීමෙන් බැහැරව සිටියේය.

 

වී ගොවියාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කිරීම සඳහා සහල් ආනයනය පසුගිය 9 වැනිදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් තහනම් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ (14 වැනිදා) කෑගල්ලේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

 

‘‘අපේ රටේ වී ගොවියා යැපුම් මට්ටමේ වී ගොවියෙක්. ඒ නිසා ඔවුන්ගේ නිෂ්පාදන සඳහා මිල ආරක්ෂා කරදීම රජයේ ප්‍රධානතම වගකීමක්. ඒ වගේම පාරිභෝගිකයා ආරක්ෂා කිරීමත් වගකීමක් වෙනව. ඒ වගේම මේ රටේ වී ගොවිතැනේ යෙදෙන ගොවියාගේ විකුණුම් මිල හා වෙළෙඳපොළ ආරක්ෂා කළ යුතුයි. යල කන්නයේ අස්වැන්න වැඩිවීමත් සමග ඊට ගැළපෙන පරිදි මිල ස්ථාවර කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර පසුගිය නව වනදා සිට සහල් ආනයනය තහනම් කිරිම සඳහා ජනාධිපති අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා.’’

Aruna