Sunday, October 27, 2024
Follow Us
ඉන්දියාවේ වායුව දූෂණය වන තෙක් ශ්‍රී ලංකාවත් අවධානමක

ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවට ආසන්න රටවල වායුගෝලයේ ඇතිවන වායු දූෂණ තත්ත්වයන්ගේ බලපෑම ඉදිරියේදී ද ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එහි පරිසර අංශයේ අධ්‍යක්‍ෂ සරත් ප්‍රේමසිරි පැවසුවේ සුළං ප්‍රවාහයේ ඇති වෙනස්වීම මත වායු දූෂණයේ බලපෑම ශ්‍රී ලංකාවට එල්ල වන ප්‍රමාණය වෙනස් විය හැකි බවයි.

ඉන්දියාව යනු වායු දූෂණය සම්බන්ධයෙන් එතරම් යහපත් වාර්තා ඇති රටක් නොවේ. නවතම වාර්තාවන්ට අනුව ඉන්දියාවේ නගර රැසක වායු තත්ත්වයන් අයහපත් තත්ත්වයක පවතිනවා. ඒ අතරින් මුම්බායි සහ දිල්ලි නගරවල වායු තත්ත්වය ඉතා දුර්වල සහ අධි අවදානම් මට්ටමකයි පවතින්නේ.

දිගින් දිගටම සිදුවන මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවේ වායු තත්ත්වයට කුමන බලපෑමක් සිදුකරයි දැයි නෙත් නිවුස් සොයා බැලීමක් සිදුකළා. මේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්‍යක්‍ෂ සරත් ප්‍රේමසිරි.

ඉන්දියාවේ මෑතකදී සිදුවූ වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වායු ගෝලයේ තත්ත්වය අට ගුණයකින් පමණ පහළට වැටී ඇතැයි වෛද්‍යවරුන් පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය රුවන් ජයසූරිය පැවසුවේ මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීම අයහපත් බවයි.

ඉකුත් දින 02 ට සාපේක්ෂව ඉන්දියාවේ වායු දූෂණය හේතුවෙන් බලපෑම් එල්ල වූ මෙරට වායුගෝලයේ වායු දූෂණ මට්ටම ඊයේ රාත්‍රිය වනවිට ක්‍රමයෙන් යහපත් වෙමින් පැවැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවා. කෙසේවෙතත් එහි බලපෑම දින කිහිපයක් පවතිනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මේ අතර මෙම දිනවල දිවයිනේ වෛරස් රෝගී තත්ත්වයන් කිහිපයක් පැතිර යමින් ඇති බව ජාතික බෝවන රෝග විද්‍යායතනය පවසනවා. එහි කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයද ඒ අතර වබ බවයි. සෙම්ප්‍රතික්ෂාව සහ උගුරේ වේදනාව රෝගී තත්ත්වයන් ද මෙම දිනවල පැතිරයමින් ඇති වන බවද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් සඳහන් කළා.

Neth