Sunday, October 27, 2024
Follow Us
දූවිලි අංශුවලින් කොළඹ අහස වැසී යයි

ඉන්දියාව ලංකාවෙත් හුස්ම හිර කරයි


වායුගෝලයේ දූවිලි අංශු ඉහළ යෑමෙන් කොළඹ අහස මීදුම වැනි දුමාරයකින් වැසී ගොස් තිබෙන අයුරු අදත් දැකගත හැකි විය.

එම තත්ත්වය ඊයේ (07) දිනයේ දීද පැවති අතර, සුළං සහිත කාලගුණික තත්ත්වයත් සමග ඉන්දියානු අර්ධද්වීපයේ ඇති දූවිලි අංශු මෙරටට ගලාඒම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසීය.

ඉන්දීය වායු දූෂණයේ බලපෑම හේතු කරගෙන මෙරට ප්‍රධාන නගර කිහිපයක වායු දූෂණයද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

ඉන් වැඩිම බලපෑම ඇති කොළඹ, මන්නාරම, වව්නියාව, කෑගල්ල සහ යාපනය ඇතුළු දිස්ත්‍රික්ක රැසකට එල්ල වී ඇතැයි එම ආයතනය සඳහන් කළේය.

වායූ දූෂණ අවස්ථාවකදී ස්වසන ආබාධ සහිත රෝගීන්, කුඩා දරුවන්, වයෝවෘධ වැඩිහිටියන්, ගැබිණි මව්වරුන් හැකි තාක් එළිමහනට නොගොස් නිවෙස් තුළ සිටීම වැදගත් වේ.

එමගින් විෂ වායු, විෂ දූවිලි අංශුවල ආග්‍රහණය අවම කරගත හැකි අතර එළිමහනේ ව්‍යායාම කිරීම සිදු කරන්නේ නම් හැකි තාක් එයින් වැළකිසිටීම වැදගත් බව හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ශ්වසනය රෝග විශේෂඥ වෛද්‍ය දමිත් රෝද්‍රිගෝ පැවසීය.

තව ද නිවසින් බැහැරව යන අවස්ථාවන්හි මුඛ ආවරණයක් පැළඳීම මගින් විෂ වායුන් හා විෂ දුම ආග්‍රහණය අවම කරගත හැකිවේ.

නිවෙස් හා රැකියා ස්ථාන මනා ලෙස වාතාශ්‍රය ලැබෙන සේ තබා ගැනීම මගින් වායු දූෂණයේ ඇති අහිතකර ප්‍රතිවිපාකවලින් ආරක්ෂා විය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Aruna